අවධානම් අඩවියක සිට නවසීලන්තය හමු වීම

ICC Women's T20 World Cup

84

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (12) නවසීලන්තය සමඟින් Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මේ වන විට තරගාවලියේ ක්‍රියාත්මක A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව අවසන් ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්තය 3 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ප්‍රතිවාදී නවසීලන්තයට සේ ම ශ්‍රී ලංකාවට ද මෙම තරගයේ තීරණය අතිශය වැදගත් වෙනවා.  

නවසීලන්තයට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වෙන්නේ තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමේ මඟ විවර කර ගැනීමටයි. ඒ සඳහා ලෙහෙසියෙන් ම යෑමට නම් ඔවුන්ට මෙම තරගයේ ජයග්‍රහණය ඇවැසියි. යම් හෙයකින් ඔවුන් මෙම තරගයේ දී පරාජය වුවහොත් ඉන් ගොඩ ඒමට පාකිස්තානය හා තරගය ද ඔවුන්ට ඉතිරි ව තිබෙනවා.  

එහෙත් ඔවුන් ඒ දක්වා ලතැවෙතැයි සිතිය නොහැකියි. එසේ වන්නේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම යනු මෙම කාණ්ඩයේ දුර්වල ම කණ්ඩායම ලෙසින් වර්ණ ගැන්වී ඇති බැවිනුයි.  

එමෙන් ම ඔවුන් මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදවනු ඇතැයි ද සිතිය හැකියි. ඒ මෙතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටින ඔස්ට්‍රේලියාව ද සහ 2 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින ඉන්දියාව ද හෙට තම තමන්ගේ ස්ථාන තහවුරු කර ගැනීමට අවස්ථාවක් උදා වෙන බැවිනුයි.   

ඒ අනුව බලන කල ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය මේ තරමින් සටන් කළ යුතු තරගයක් වී නැහැ. ඔවුන්ට දැන් ඇත්තේ මේ වන විට වැටි ඇති තැනින් නැගී සිටීමට සැලසුම් කිරීමයි.  

මෙතෙක් සහභාගී වූ තරග ත්‍රිත්වය පරාජිත තරග ලෙසින් අවසන් කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගය සඳහා එක් වෙන්නේ ද අතිශයින් ම දුර්වල කණ්ඩායමක් ලෙසින් වන හැඳින්වීමත් සමඟයි. ඊට ඔවුන් පත්වෙන්නේ මේ දක්වා පැවැති තරගවල දී ලකුණු 100ක් ඉක්මවා යෑමේ එකඳු හෝ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකි නොවූ පසුබිමකයි 

ඒ තරම ට ම ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල මට්ටමකට වැටී තිබීම කණගාටුදායක තත්ත්වයක්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යනු එවන් තත්ත්වයකට පත් විය යුතු කණ්ඩායමක් නොවේ.  

ඔවුන් මෑත කාලයේ පෑ දක්ෂතා මෙම තරගාවලියේ පෙරලියක් කිරීමට තරම් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වූ බැව් කාගේත් විශ්වාසය වී තිබුණා. නමුත් සිදු වූ වින්නැහිය ඇදහිය නොහැකි, කෙලෙසක වූ දෙයක් ද කියා සිතීමටවත් නොහැකි දෙයක්.  

අප පෙර කීවාක් සේ මේ පසු බෑමේ දී චමරි අතපත්තු, විශ්මි ගුණරත්න හෝ හර්ෂිතා සමරවික්‍රම පමණක් ම යන්න අදාළ නොවේ. සමස්තයක් ලෙස මෙය කණ්ඩායමේ ම පසු බැසීමක් ලෙසින් පිළිගත යුතු ව තිබේ. දැන් කළ යුත්තේ තරගාවලිය කෙසේ වෙතත් මේ ලත් පරාජයන් අවම කර ගැනීමයි.  

ඊට වහා කළ යුත්තේ මෙම තරගයේ දී හෝ ශ්‍රී ලංකාව වාසිදායක තැනකට ගෙන ඒමයි. එහෙත් එය පහසු කටයුත්තක් නොවේ. ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ මෙම තරගයට පිවිසෙන්නේ ම ජයග්‍රහණය තමන් සතු කර ගැනීම එක ම අරමුණ කර ගනිමිනුයි. ඊට ඔවුන්ට තිබෙන එක ම විශ්වාසය ශ්‍රී ලංකා කණ්ඩායමට ඇලවූ දුර්වල ලේබලයයි.  

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් කළ යුත්තේ ඉතිරි ව ඇති මෙම තරගයෙන් හෝ ජයග්‍රහණය කර එල්ල වන අපවාදවලින් යම්තමින් හෝ ගැලවීමයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය 

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සචිනි නිසංසලා, අචිනි කුලසූරිය, සචිනි ගිම්හානි, අමා කාංචනා. 

නවසීලන්ත කණ්ඩායම 

 

Sophie Devine (නායිකාව), Suzie Bates, Eden Carson, Isabella Gaze (කඩුලු රකින්නිය), Maddy Green, Brooke Halliday, Fran Jonas, Leigh Kasperek, Amelia Kerr, Jess Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu.   

 

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<