ලොව බිහි වූ දක්ෂතම වමත් පිතිකරුවන්ගේ නාමාවලියේ ඉහළින්ම රැඳෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අසත්‍ය කටකතා රැසක් පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවත්, ඒ සියල්ල පදනම් විරහිත බැවින් කිසිම අවස්ථාවක දී එවැනි දෑ විශ්වාස නොකරන ලෙසත් ලාරා ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන් සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.
IPL එකට දැඩි සෞඛ්‍යාරක්ෂාවක්; නීති කැඩුවොත් සෙල්ලම් නෑ
තමන් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව සඳහන් කරමින් ක්‍රීඩාලෝලීන් නොමඟ යවන සුළු පුවත් කිහිපයක්ම Twitter, Instagram වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පළකොට තිබෙනු දුටු බව සඳහන් කර සිටි ලාරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙලෙස වගකීම් විරහිත අයුරින් සිතු මනාපයට පුද්ගලයින් අපහසුතාවට පත් වන ලෙස කටයුතු කරන්නන් සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ දැඩි කනස්සල්ලක් බවයි.
තමන්ට ආදරය කරන දසත විසිරී සිටින ක්‍රිකට් රසිකයින් බොහෝමයක් දෙනා නොමඟ යවමින් සිදු කළ මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන බවත් පෞද්ගලිකව තමන්ට මෙමඟින් දැඩි බලපෑමක් ඇති නොවුනත් ජනතාව අතර අනවශ්‍ය තැති ගැන්මක් ඇති කිරීම සඳහා තම චරිතය අතකොලුවක් ලෙස භාවිත කිරීම සදාචාරාත්මක විරෝධී බව මෙහි දී ලාරා අවධාරණය කර සිටියේය.
“පහුගිය දවස් කිහිපයේ මට COVID-19 වැළඳිලා කියලා පැතිර ගිය කට කතාව බොරුවක්. මේ වගේ දේවල්වලින් වෙන්නේ ජනතාව අතර අනියත බියක් ඇති වෙන එක විතරයි. මේ නිසා මගේ පවුලේ අය වගේම මම සමීපව ඇසුරු කරන පිරිස් ගොඩක් අපහසුතාවට පත් වුනා. හැමෝම අසීරු කාලයක් තමයි මේ පහු කරන්නේ. ඉතින් ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා නම් කවුරු හරි ඒක වැරදි. මම ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවෙනවා. හොයලා බලපු හැමදෙනාටම ගොඩක් ස්තූතියි.”
2007 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බ්‍රයන් ලාරා ලකුණු 22,358ක් රැස් කිරීමට සමත්කම් දැක්වූයේ ශතක 53ක හිමිකාරිත්වය ද ඔහු නමින් සටහන් කරගනිමිනි. ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ පිතිකරුවෙකු විසින් එදා මෙදා තුර වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ලාරා 2004 වර්ෂයේ දී දියත් කළ ලකුණු 400යේ ඉනිම අදටත් බොහෝ දෙනා සිහිපත් කරනුයේ ලොව විශිෂ්ටතම ටෙස්ට් ඉනිම් අතළොස්ස අතුරින් කැපී පෙනෙන ඉනිමක් ලෙසයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<