ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

891
@newsapi.com.au

2018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි. ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව මුළුමහත් ලෝක ක්‍රිකට් ප්‍රජාවම ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු කඳුළු සලනු දැක සංවේගයට පත්විය. එහෙත් මේ සියලු දුක් කම්කටොළු නිමා කිරීමේ වගකීම එක් ක්‍රීඩකයෙකුට හිමිව තිබේ. ඒ ඕස්ට්‍රේලියානු නව නායක ටිම් පේන් ය. ඕස්ට්‍රේලියාවේ 46 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ඔහුයි.

මාර්තු 29 වැනිදා අඳුරු මතකය

@yimg.com – ඔවුනට ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සමාව ඉල්ලන්නට සිදු විය

2018 දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතින් සැකසුණු පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණ සැලසුම අසාර්ථක වීමෙන් පසු ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් වසරක තරග තහනමකට ලක්වූයේ ඕස්ට්‍රේලියානු රජය විසින් ද “මෙය මහත් ලැජ්ජාවකි “යි කියන පසුබිමකදීයි. පිටිය මැද දී සිද්ධියට හසුවූ ඕස්ට්‍රේලියානු පිතිකරු කැමරන් බෑන්ක්‍රොෆ්ට් හට මාස 9ක තහනමක් ද හිමි විය. එහෙත් මේ සියල්ල සිදුවූ දින කිහිපයට වඩා ලෝක ක්‍රිකට් ප්‍රජාව කැලඹිල්ලට පත්වූ දිනය වූයේ 2018 මාර්තු 29 වැනි දිනයයි.

ස්ටීවන් ස්මිත් (ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු) සහ අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා නැවත ඕස්ට්‍රේලියාවට කැඳවීමෙන් පසු ඔවුන්ට ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සමාව ඉල්ලන්නට සිදු විය. නායකයා වශයෙන් ස්මිත් සියලු වරද තමන් පිට පටවාගත් අතර මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ කීය.

“මම මගේ වැරැද්ද නිවැරදි කරගන්න කළ හැකි සෑම දෙයක්ම කරනවා, මේ සිදුවීමෙන් සිදු වූ එකම හොඳ දෙය අනික් අයට මේක හොඳ පාඩමක් වීම පමණයි, මම මුළු ජීවිත කාලයම පසුතැවේවි, මං හිතනවා කාලයත් සමඟ මට නැවත ගෞරවය හා සමාව උපයාගත හැකි වේවි”

එහෙත් වේදනාවෙන් මේ ප්‍රකාශය කරන ඔහුව අස්වසන්නට ඔහුගේ පියාණන් ඉදිරියට පැමිණි මොහොත ස්මිත්ගේ සංවේදනාවන් දෙනෙතින් පුපුරා ගිය මොහොතයි.

ඒ ස්මිත්ගේ සංවේදනාවන් දෙනෙතින් පුපුරා ගිය මොහොතයි.

“තීරණයක් ගන්න කලින් දෙවරක් හිතා බලන්න, හිතන්න එම තීරණයෙන් අපහසුතාවයට පත් වෙන්නේ කවුද කියලා, ඔබ ඔබේ දෙමාපියන් අපහසුතාවයට පත් කරනවා, මගේ දෙමාපියන් දිහා බලන කොටත් මට වේදනා දැනෙනවා.” ඔහු හඬා වැටෙන්නට විය.

ස්ටීවන් ස්මිත් වරදකට නිහඬව හෝ සම්බන්ධ වූ බව සැබෑවකි. එහෙත් පා දඟපන්දු යවන්නෙකු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පැමිණ, පිතිකරුවෙකු බවට පත්ව, ලොව දක්ෂතම ටෙස්ට් පිතිකරු ලෙස මේ මොහොතේදීත් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ඔහුගේ හඬා වැටීම ඕස්ට්‍රේලියානු වේදනාව සහ අපගේ ද වේදනාව උත්සන්න කළේය. ඔහු එවැන්නකට සම්බන්ධ නොවිය යුතුව තිබුනේ යැයි සිත නැවත නැවතත් කියයි.

ඊට අලුතින්ම අඩුම කුඩුම එක්කළේ ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් ය. දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයෙන් පසු තමන් පුහුණුකාර ධූරයෙන් ඉවත්වන බව ඔහු පැවසීය. කෙසේ වෙතත් ඔහු ඉන් පෙර පවසා සිටියේ පන්දුව පළුදු කිරීමේ සැලසුම ගැන තමන් කිසිවක් දැන නොසිටි බවයි. දැන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අවුලකින් අවුලකට පත්ව ඇත.

ලීමන් ද තම නික්ම යාම ප්‍රකාශයට පත්කරමින් කඳුළු සැලුවේය

නව නායකයාගේ ආගමනය

@imgci.com – ටිම් පේන් හට ඕස්ට්‍රේලියානු නායකත්වය හිමිවීම මඳක් වෙනස් පියවරකි.

කතාන්දරය එසේ ගලායද්දී මේ සියලු වේදනාවන් වල බර දරන්නට දැන් සිදුව ඇත්තේ නව ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් හට ය. ඕස්ට්‍රේලියානු ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාම වසරක තරග තහනමකට හසුව ඇත. ෂෝන් මාෂ් හෝ මිචෙල් මාෂ් පීඩනයට පත්කිරීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ වැඩි කැමැත්තක් නැත. එහෙත් මීට කෙටි කාලයකට ඉහත දී තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කියා සිටි 33 හැවිරිදි ටිම් පේන් හට ඕස්ට්‍රේලියානු නායකත්වය හිමිවීම මඳක් වෙනස් පියවරකි.

නවක නායක ටිම් පේන් සහ පලවා හැරුණු නායක ස්ටීවන් ස්මිත් 2010 වසරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේ එකම තරගයක දී ය. එහෙත් ස්මිත් වේගයෙන් ඉහළට නැගුණු අතර පේන් එතරම් සාර්ථක නොවීය. වරින් වර පමණක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාවන් ලද ටීම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන කුකබුරා සමාගම සමඟින් ක්‍රිකට් උපකරණ නිපදවීමේ කටයුත්තකට අතගසන බැව් පෙර පවසා තිබුණි.

ඊට ඔහුගේ ඇඟිල්ලක සිදුකර ඇති ශල්‍යකර්ම 7ක් ද හේතු වූ බැව් නිර්ණය කළ හැකිය. කඩුලු රකින්නෙකුට තම දෑතේ ඇඟිලි දහයේම සම්පූර්ණ ශක්තියෙන් තොරව ක්‍රීඩාවේ යෙදීම අපහසුය. ඇරත් ඔහු මෑතක සිට තම ප්‍රාන්ත කණ්ඩායමේ හෝ කඩුලු රකින්නේ නැත.      

@abc.net.au – ශල්‍යකර්ම 7කට භාජනය වූ පේන්ගේ ඇඟිල්ල

එහෙත් 2017/18 අළු බඳුන තරගාවලිය සඳහා හදිසියේම නම් කෙරුණු ටීම් පේන් එහි දී දැක්වූ දක්ෂතාවයන් සමඟින් ස්ථානය තහවුරු කර ගත් අතර ඒ හොඳ දක්ෂතාවයන් දකුණු අප්‍රිකාවේ දී ද රැක ගන්නට සමත් විය.

පන්දුව පළුදු කිරීමේ සිද්ධියෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කේප් ටවුන් හිදී ලකුණු 322ක දැවැන්ත පරාජයක් ලැබුවේය. කණ්ඩායම කෙතරම් කම්පනයකට ලක්ව ඇත්දැයි ඉන් කියාපායි. ජොහැන්නස්බර්ග් හිදී ඇරඹෙන මීළඟ තරගයට පෙර ඔවුන් සහභාගී වූයේ එකම පුහුණු සැසියකට පමණි.

“ඒක ඉතාම අමාරු වුනා. ඒත් එදා තරගයේ අවසන් මිනිත්තු 45දී සිදුවුණු දේවල් ගැන නිදහසට කරුණු කියන්නට බැහැ.” පේන්, පරාජිත තරගය ගැන රොයිටර් හමුවේ කියා තිබිණ.

“මොනවා වුනත් අපි ඕස්ට්‍රේලියානු කණ්ඩායම හැටියට අප කළාට වඩා උත්සාහයක් කළ යුතුව තිබුණා. අනිවාර්යෙන්ම එය  කම්පනයක් යටතේ තිබුණු අතර අප ඒ කම්පනය අප මතට පටවා ගෙන තිබුණා.” ඔහු වැඩිදුරටත් කීවේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කෙරුණු ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් මැට් රෙන්ෂෝ සහ ජෝ බර්න්ස් ද, ග්ලෙන් මැක්ස්වෙල් ද කණ්ඩායමට නම්කොට තිබේ.

“එක හොඳක් තමයි තරුණ ක්‍රීඩකයන්ට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබීම.”  පේන් ඒ පිළිබඳව දැක්වූයේ එවන් අදහසකි.

සුනුවිසුනු වූ මනසක් සහිතව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රජාව නගා සිටුවීමට ටිම් පේන් හට බොහො දේවල් කිරීමට ඉතිරිව ඇති නමුත් ක්‍රීඩකයෙකු ලෙස ඔහු මනසින් ශක්තිමත් වන්නට උත්සාහ කරන බව ඔහුගේ අදහස් දැක්වීමෙන් සනාථ විය. කෙසේ වෙතත් 1970න් පසු දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාවට එරෙහිව නිජබිමේ තරගාවලි ජයග්‍රහණයක් ලැබීමේ සූදානමින් පසුවෙයි. නොයෙක් හැලහැප්පීම් මැද 2018 තරගාවලිය 2-1ක් වශයෙන් දකුණු අප්‍රිකාවට වාසිදායක වී ඇත.

@mid-day.com – ටිම් පේන් අචල ය

“ඉදිරියට යාමේ දී හැමදේකින්ම ඉගෙන ගැනීමට අපට අවස්ථාවක් ලැබෙනවා වගේම ඕස්ට්‍රේලියානු ප්‍රජාව අප ගැන සිතන ආකාරය වෙනස් කිරීමටත්, අප කණ්ඩායමක් ලෙස අප ගැන සිතන ආකාරය වෙනස් කර ගැනීමටත් අවස්ථාවක් ලැබෙනවා.”

ටිම් පේන් අචල ය. ඔහුගේ ආරම්භය ධනාත්මක ය. ඕස්ට්‍රේලියාවේ වේදනාව සමනය කිරීමට ඔහුට හැකි වේද?

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<