ක්‍රිකට් තරගයක දී ක්‍රීඩකයෙක් දැවී යා හැකි ආකාර බොහොමයක් තිබුනත් Stumps (විකට් ඉනි) මුල් කරගනිමින් සිදු වන දැවී යාම් සඳහා ප්‍රේක්ෂකයන්, ක්‍රීඩකයන් වැඩි කැමැත්තක් දක්වනවා.
ස්ටම්ප් කිරීම, දුවද්දී දැවී යාමට ලක් වීම මෙම දැවී යාම් ගොන්නට ඇතුළත් වන අතර මේ අතරින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සිදු වන දැවී යාම් සඳහා ඉහළ ප්‍රේක්ෂක කැමැත්තක් හිමි වෙනවා.
Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල
මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ Thepapare.com කැමරා කාචයේ සටහන් වූ එවැනි අවස්ථා කිහිපයක සේයා රූ වෙනුවෙන්.
1. මද වේගයට මුලා වුන සිමන්ස්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පල්ලකැලේ ජාත්‍යන්තර පිටියේ දී මේ වසරේ පැවැත්වුන දෙවැනි පන්දුවාර 20 තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කොදෙව් ක්‍රීඩක ලෙන්ඩල් සිමන්ස් ලකුණු 9කට දැවී ගියා. කෙසේ නමුත් තරගය කඩුලු 7කින් ජය ගන්න කොදෙව්වන් සමත් වුනා.
2.පෙරේරාට අහුවුන ඇම්බ්‍රිස්
බටහිර ඉන්දිය කොදෙව්වන් සමඟ පැවති පළමු එක්දින තරගයේ දී තිසර පෙරේරා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී කොදෙව් ක්‍රීඩක සුනිල් ඇම්බ්‍රිස් දැවී යන අවස්ථාව තමයි මේ. ඉතා තියුණු මුහුණුවරක් ගත් මේ තරගය වනිඳු හසරංගගේ සුපිරි පිතිකරණය නිසා කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
3.Yorker රජු ඉදිරියේ දණ නැවීම
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පසුගිය වසරේ (2019) පැවති ප්‍රථම එක්දින තරගයේ දී, සිය එක්දින දිවියේ අවසාන තරගය ක්‍රීඩා කළ ලසිත් මාලිංග එල්ල කළ Yorker පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා බංගලාදේශ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් දැවී ගිය අවස්ථාව තමයි මේ. තරගය පුරාවට කඩුලු තුනක් දවා ගැනීමට මාලිංග සමත් වුන අතර ලකුණු 91කින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගන්නත් සමත් වුනා.
4.වාසනාවන්ත ජයක් ගෙනා රන් පන්දුව
2018 වසරේ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති හතරවැනි එක්දින තරගයේ අවසන් පන්දුවාරයේ දී සුරංග ලක්මාල්ගේ පන්දුවක් පිත්තේ අග්‍රයේ දැවටී කඩුල්ලේ වැදීම නිසාවෙන් දකුණු අප්‍රිකානු පිතිකරු ඩේවිඩ් මිලර් දැවී ගියේ මෙහෙමයි. මේ කඩුල්ල තරගයේ තීරණය වෙනස් කළ අතර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක් හිමි වුනා.
5.දෝලනය ඉදිරියේ පිතිකරුවා අසරණ වීම
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර මේ වසරේ දී පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටනේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර පිතිකරු රිශික සන්තුෂ් ලකුණු නවයක් ලබා සිටිය දී, ප්‍රතිවාදී ක්‍රීඩක ජොහෑන් ද සිල්වාගේ Inswing පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අවස්ථාව තමයි මේ. කෙසේ නමුත් සන්තුෂ් දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් රැස්කර ගැනීමට සමත් වූ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා.
6.පන්දුව පිත්ත පරයමින් මැද ඉන්න සිපගැනීම
ඉසිපතන විද්‍යාලය සහ තර්සටන් විද්‍යාලය අතර මේ අවුරුද්දේ පැවැත්වුන W. A. De Silva අනුස්මරණ අභියෝගතා කුසලාන වාර්ෂික එක්දින තරගයේ දී තර්ස්ටන් ක්‍රීඩක යොහාන් ලියනගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගිය අවස්ථාව තමයි මේ. මේ තරගය ආරම්භක පිතිකරු තෙවින්දු දික්වැල්ලගේ ශතකය නිසා කඩුලු 4කින් ජය ගැනීමට ඉසිපතන විද්‍යාලයට හැකි වුනා.
7.රාජකීය පිතිකරුවා පසුකරමින් පන්දුව කඩුල්ල කරා
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මේ වසරේ දී පැවති 141 වැනි නිල් මහා සටනේ රාජකීය කණ්ඩායමේ ප්‍රථම ඉනිමේ දී සාන්ත තෝමස් ක්‍රීඩක උමයංග සුවාරිස් යොමු කළ පන්දුවකට Sweep පහරක් එල්ල කිරීමට දැරූ උත්සහය වැරදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් රාජකීය පිතිකරු කවිඳු පතිරත්න දැවී ගියේ මෙහෙමයි. කෙහොම වුනත් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා.
8.ජය මාවත විවර කළ දුවද්දී දැවී යාම
2019 තිබුණ පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගයේ දී නායක දිමුත් කරුණාරත්න විසින් පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කරමින්, සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි නජිබුල්ලාගේ කඩුල්ල දවා ගත් අවස්ථාව තමයි මේ. ඒ කඩුල්ල ලබා ගැනීම නිසා තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට නතු වූ අතර ලකුණු 34කින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නටත් සමත් වුනා.
9.සීමා ඉර පැන කඩුලු රකින්නාට හසුවීම
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පසුගිය වසරේ (2019) පැවති පළමු පන්දුවාර 20 තරගයක දී ලකුණු 10ක් ලබාගෙන සිටි අවිශ්ක ප්‍රනාන්දු මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවකට ඉදිරියට පැන පහර දීමට උත්සහ කළ අවස්ථාවේ ස්ටම්ප් වීමකට අහුවෙලා Out වුනේ මෙහෙමයි (කඩුලු රකින්නා: ටිම් සෙයිෆර්ට්). අවසානයේ මේ තරගය ශ්‍රී ලංකාව කඩුලු පහකින් පරාජයට පත්වුනා.
10.ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන ආ වනිදුගේ රන් හස්තය සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය (2019) වසරේ පැවති දෙවන පන්දුවාර 20 තරගයේ අවසන් පන්දුවාරය යොමු කළ වනිඳු හසරංග විසින් පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කරමින් අර්ධ ශතකයක් රැස් කර සිටි ටොම් බෘස් දවා ගත්ත අවස්ථාව තමයි මේ.
ඒ කඩුල්ල ලබා ගැනීමෙන් පසුව තවත් කඩුල්ලක් ලබා ගනිමින් තරගය දෙපිලටම විවර කර දීමට වනිඳු සමත් වුන නමුත් උඩපන්දුවක් ලබා ගැනීමට ගොස් ශෙහාන් ජයසූරිය සහ කුසල් මෙන්ඩිස් හයේ සීමාව අසල දී අවාසනාවන්ත ලෙස අනතුරකට ලක් වීම නිසාවෙන් තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුනා.
මේ අතරින් ඔයා කැමතිම දැවී යෑම මොකද්ද? පහළින් Comment කරන්න
තවත් Photo Story එකක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<