සමහර ක්‍රීඩාවලට නායකත්වය වැදගත් වන්නේ මාධ්‍ය හමුවල දී හෝ ප්‍රිය සම්භාෂණයන්හිදී කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පමණක් වූවත්, ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය යනු, ලොවටම නායකත්වයේ අගය කියා දිය හැකි භාර දූර වගකීමකි.
ඒ, ක්‍රිකට් පිටියෙන් පිටත දී කණ්ඩායම සංවිධානය කරන්නාක් මෙන්ම පිටිය තුළදීත් නායකයා සෑම විටම ක්‍රියාකාරී විය යුතු බැවිනි. උදාහරණයක් ලෙස ක්‍රිකට් කණ්ඩායමක් පවුලක් සේ සැලකුවහොත් නායකයා එහි පියා මෙන් සැලකිය හැකිය.
ඉන් සමහරෙකු, තම ක්‍රීඩා දක්ෂතාවයන්වල මහිමයෙන් ජාත්‍යන්තර තලයට පිවිස නායකත්ව දක්ෂතා තමන් තුළ වර්ධනය කර ගත් අයයි. තවත් සමහරෙකු, කුඩාකල සිටම නායකත්ව දක්ෂතාවයෙන් පරිපූර්ණ වූ බැවින්ම ජාත්‍යන්තර තලයට පිවිස, පසුව ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් වීම දක්වා තමන්ව දියුණු කරගත් අයයි. ලෝක ක්‍රිකට් වාර්තා පොත් අතර සිය නාමය සටහන් කරමින් නායකත්වයෙන් සිය කණ්ඩායම ඔසවා තැබූවන් පමණක් නොව, ලකුණු වාර්තාවලින් ඔප්පු කළ නොහැකි තරමේ සේවයක් තම මව්බිමට ලබා දුන් නායකයන් ද “ලොව දක්ෂතම ක්‍රිකට් නායකයන්” අතර සිටියි.
10 මිස්බා උල් හක්
මිස්බා, පකිස්තාන ටෙස්ට් නායකත්වයට පත්වන්නේ, හිටපු නායක සල්මාන් බට් සහ වේගපන්දු යවන මොහොමඩ් අමීර් “2010 තරග පාවාදීමේ සිද්ධියට” වැරදිකරුවන් වශයෙන් සිරගත කොට, පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව අනතුරක තිබූ පසුබිමකදීයි. එහෙත් ශක්තිමත් මනසක හිමිකරුවෙකු වූ මිස්බා, කණ්ඩායම වෙනුවෙන් තනිවම සටන් වදිමින් සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීම උදෙසා ක්‍රියා කළේය.
එක්දින ශතකයක් රහිතව වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා ඔහුය. තමා අමතක කොට කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවය සැපයූ මිස්බාට පන්ජාබ්හි ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් ද හිමි ය. ඔහු ගැන තවත් ප්‍රසිද්ධ රහසක් නම්, තරගයක සෑම පන්දුවක්ම විශ්ලේෂණය කිරීමේ ඔහුගේ අවශ්‍යතාවයයි. යම්හෙයකින් යම් පන්දුවක් නැරඹීම මඟ හැරුණු විට අන් ක්‍රීඩකයෙකු විසින්, සිදු වූ දේ ඔහුට විස්තර කළ යුතු විය.
මොහු, දකුණු ආසියානු ටෙස්ට් නායකයෙකු දකුණු අප්‍රිකාව ඔවුන්ගේ නිජබිමේ දී පරාජය කළ පළමු අවස්ථාව ද, එංගලන්ත කණ්ඩායම 4 වතාවක් එංගලන්තයේ දී පරාජය කළ පළමු ආසියානු නායකයා වීමේ අවස්ථාව ද තමන් සතු කර ගත්තේය.
ඔහුගේ ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතය 45.4% කි. තරග 11ක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් ව ඇත.
ඔහුගේ සුරතල් නාමය “ටුක්-ටුක්”(ත්‍රිරෝද රථය) ය. ඔහු, ගැටලු රාශියකට මැදිව අතරමං වූ පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට “ත්‍රිරෝද රථයකි”. ත්‍රිරෝද රථය ඕනෑම පටු මාවතකින් ඉලක්කය කරා යන සැටි අපි දනිමු.
“ඔහු පරිණතයි වගේම ඉගෙන ගන්නත් කැමතියි. ඔහුට හරහට හිටින එකම දේ වයස පමණයි.” වකාර් යුනස්, මිස්බාව හැඳින්වූයේ එසේයි.
09 මයිකල් වෝන්
2002/03 තරග වාරයේ අළු බඳුන තරගාවලියේ දී ලකුණු 633ක් වාර්තා කරමින් තමා ලොව දක්ෂ පිතිකරුවෙකු බව පසක් කළ වෝන්, 2005 වර්ෂයේ දී අළු බඳුන යළි එංගලන්තයට ගෙන යාමට සමත් වූයේ වසර 18ක එංගලන්ත සිහිනයක් සැබෑ කරමිනි. ඔහු 2007 ICC සම්මාන උළෙලේ දී වසරේ ටෙස්ට් කණ්ඩායම තුළට ද ඇතුළත් විය.
ඔහුගේ ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතය 50.9% කි. “ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය” ලෙස හැඳින්වෙන විස්ඩන් සඟරාවේ 140වන කලාපයේ මුල් කවරය මත ඔහුගේ රුව සටහන් වූ අතර එය, ක්‍රීඩකයෙකුගේ රුව ඒ මත සටහන් වූ පළමු අවස්ථාවයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය අගයනු වස්, ෂෙෆීල්ඩ් හාලම් විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරවාචාර්ය උපාධියක් ද පිරිනැමිණි.
“ෆ්රැන්කි” නම් සුරතල් නාමයෙන් හැඳින්වෙන වෝන්, දක්ෂ පුල් පහර එල්ල කරන්නෙකි.
“ඔහු අද්විතීය පිතිකරුවෙකු පමණක් නොව, වසර 18ක වේදනාත්මක බලාසිටීමක් අවසන් කොට, 2005 අළු බඳුන කුසලානය එංගලන්තයට ලබා දුන්, සාර්ථකම එංගලන්ත ටෙස්ට් නායකයායි.” බී.බී.සී. ක්‍රීඩා නාලිකාව ඔහුව හැඳින්වූයේ එසේයි.
08 අර්ජුන රණතුංග
ස්ථාවර පිතිකරුවන් දෙදෙනෙකු පමණක් සහිත තුන්වන ලෝකයේ ක්‍රිකට් කණ්ඩායමක්, ක්‍රිකට් ලොවේ උසස්ම ජයග්‍රහණය වෙත ඔසවා තැබූ මේ නායකයා ගැන ශ්‍රී ලාංකික අපට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ශ්‍රී ලංකාව නම් වූ ළපටි ක්‍රිකට් රාජ්‍යය, එහි දැවැන්තයන් අතර ස්ථාපිත කළේ, ක්‍රිකට් ලොවට නව්‍ය උපක්‍රම සම්පාදනය කිරීමේ පුරෝගාමියෙකු වූ අර්ජුන ය. ඔහු නිසා, ලෝක කුසලානයක් දිනා ගත් ළාබාලතම ටෙස්ට් ක්‍රිකට් රාජ්‍යය බවට ද ශ්‍රී ලංකාව පත්විය.
යම් පැලැන්තියකට පමණක් උරුමව තිබූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, ඉන් මෙපිට සිටි දක්ෂයන්ට විවර කර දුන්නේ ඔහුයි. සනත් ජයසූරිය, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් වැනි කොළඹින් පිට දක්ෂයින් ජාතික කණ්ඩායමට එක්කර ගත් අර්ජුන, තමන් ළාබාල අවධියේ දී “සරම් ජොනී” යැයි තමන්ට අපහාස කළ “ශ්‍රී ලංකාවේ උසස් පැලැන්තියේ මහත්තුරුන්ට” පාඩමක් උගන්වමින් ලොව සටන්කාමීම එක්දින ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කළේය.
21.4%ක ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතයක් සහිත වුවද ඉන් නොපෙනෙනා තරමේ සේවයක් ඔහු නායකයෙකු වශයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට කර ඇති බව අවිවාදාත්මකයි. “ලොකු” හෝ “පොඩි” භේදයක් නැතිවම ඕනෑම කණ්ඩායමකට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය හැකි බව ලොව හමුවේ සනාථ කළේ ඔහුයි. වයස අවුරුදු 18ක යෞවනයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ දී ම, ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අර්ජුනගේ නොසැලෙන මානසිකත්වය ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාම කැපීපෙනිණි.
පීඩනකාරී අවස්ථා තුළ දී නුවණ මෙහෙයවිය හැකි ඔහුගේ ගුණය නිසා “කැප්ටන් කූල්” යන නාමය ඔහුට හිමි විය.
“කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 1996 ලෝක කුසලානය දිනා ගැනීමට තම කණ්ඩායම මෙහෙයවීම මඟින් ඔහු ‘විශ්වාසය‘ නම් වදනෙහි නියම අරුත පසක් කළේය.” ඉන්දියානු NDTV මාධ්‍ය විසින් අර්ජුනව ප්‍රශංසාවට ලක්කළේ එසේයි.
07 මහේල ජයවර්ධන
ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය පිතිකරුවෙකු ලෙස සැලකෙන මහේල ජයවර්ධන, අවුරුදු 13න් පහළ ක්‍රීඩා කළ සමය පිළිබඳ ඔහුගේ එකල පුහුණුකරුවෙකු වරෙක පැවසුවේ මෙවැන්නකි. “මහේල ලකුණු හඹා යමින් පිටියේ ඉන්න විට ඔහුට කිසිදු උපදෙසක් දෙන්න අවශ්‍ය වුනේ නැහැ. ඉතිරි පන්දුවාර ගණන, ඉන් එකකට ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව, පහර දිය යුතු පන්දු යවන්නන් වැනි සියලු දේ ඔහු ඒ වයසේදීත් දැන සිටියා.”
කුඩා කල සිටම විශේෂඥ මනසකින් පොහොසත් වූ මහේල ටෙස්ට් නායකයෙකු වශයෙන් එහි වාසිය ලබා ගත්තේය. 2006 වසරේ දී “ICC හොඳම නායකයා” සම්මානය ද, 2007 “විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය ද, 2013 “ICC ස්පිරිට් ඔෆ් ක්‍රිකට්” සම්මානය ද ඔහු ලද ගෞරවයන් වේ. නායකත්වයේ වටිනාකම මැනවින් පසක් කරමින් පුණ්‍ය කටයුතු රැසක නායකත්වය ද දරන්නට ඔහු සමත් වූයේ ශ්‍රී ලංකාවට පිළිකා රෝහලක් තනා දීමට ද මුල්වෙමිනි.
2007 වර්ෂයේ ලෝක කුසලාන අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නායකත්වය සැපයූවේ මහේල යි. අනෙකාගෙන් ගත හැකි උපරිමය කණ්ඩායම වෙත ලබා ගන්නට තිබූ හැකියාව නිසා ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ලකුණු සම්බන්ධතා අතුරින් බොහොමයක එක් අන්තයක් වූ ඔහු ලොව වැඩිම ටෙස්ට් ලකුණු සබඳතාවය සඳහා ද දායකත්වය සැපයීය.
“මයියා” යන සුරතල් නාමය සහිත වූ මහේල, පිටිය මැද දී සවිමත් ප්‍රතිරූපයක් සහිත වුවද සංවේදී මනසක් සහිත පුද්ගලයෙකි.
47.3%ක ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතයක් සහිත වූ මහේල ගැන එංගලන්ත පිතිකරු ඉයන් බෙල් වරෙක මෙසේ අදහස් පළකළේය.
“මට පුළුවන් නම් ඔහුට වදයක් වෙලා හරි ඔහුගෙන් ලබා ගන්න පුළුවන් හැමදේම ලබාගෙන මගේ පිතිකරණය දියුණු කරගන්න මං කැමතියි.”
06 මහේන්ද්‍ර සිං දෝනි
ඉන්දියාවට 2007 විස්සයි විස්ස ලෝක කුසලානයත්, 2011 ලෝක කුසලානයත්, 2013 ICC ශූරයන්ගේ කුසලානයත් දිනා දෙන්නට සමත් වූ මේ දැවැන්ත චරිතය ක්‍රිකට් ලොව එතෙක් මෙතෙක් පහළ වූ ශක්තිමත්ම පිතිකරුවෙකි. සිය උපන් හැකියාව ගැන දැඩිව විශ්වාස කරමින්, සෑම විටම හොඳ උපක්‍රම යොදන්නෙකු වීමේ හැකියාව දෝනිට ලැබෙන්නේ තමාගේ ගමේ තරුණයන් සමඟ පාපන්දු ක්‍රීඩා කිරීමෙනි.
ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක් වන ජාර්කන්ද් ප්‍රාන්තයේ උපන් දෝනි පාපන්දු ගෝල රකින්නෙකු වූ බැවින්, කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක කඩුලු රැකීම සඳහා ඔහුගේ පුහුණුකරු විසින් යොමු කෙරුණු අතර පියවරෙන් පියවර ඔහු ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම තෙක් පැමිණියේය. තම පස්වැනි එක්දින තරගයේ දී ම පන්දු 123කදී ලකුණු 148ක් ලබා ගත් දෝනි, තම සලකුණ ලෝක ක්‍රිකට් ඉතිහාසය මත සටහන් කළේ “භයංකාර අවසන් කරන්නෙකු” ලෙසයි.
ඉන්දියානු කණ්ඩායම පළමු වතාවට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පැමිණියේ දෝනිගේ නායකත්වයෙනි. දීර්ඝතම තරග ප්‍රමාණයක දී අපරාජිතව කණ්ඩායම මෙහෙයවූ ටෙස්ට් නායකයා වන ඔහු තරග 11ක් පුරා අපරාජිත විය. නායකත්වය ලබා දුන් ටෙස්ට් තරග 60න් 27කම ජය ලබා ගන්නට ඔහු සමත් විය. එය ප්‍රතිශතයක් වශයෙන් 45%කි. ඕස්ට්‍රේලියානු නායකයෙකු හැර වෙනත් නායකයෙකු වශයෙන් එක්දින තරග 100ක ජයග්‍රහණ සඳහා කණ්ඩායම මෙහෙයවූ එකම නායකයා ද දෝනි ය.
“මහී” නම් සුරතල් නාමය සහිත ඔහු ඉන්දියාවෙන් මෙතෙක් පහළ වූ සාර්ථකම නායකයාය.
“ඔහු කලබල නැති, තැන්පත්, ඒවගේම තමන්ව විශ්වාස කරන පිතිකරුවෙක්. ඔහු ශක්තිමත් චරිතයක්.” මෙසේ ඔහුව වර්ණනා කළේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක මහේල ජයවර්ධන යි.
බාධක, අභියෝග හමුවේ ශක්තිමත්ව, නොසැලෙමින් තම කණ්ඩායම් මෙහෙයවා සිය රටට අභිමානයක් ගෙන දුන් දක්ෂතම ක්‍රිකට් නායකයන් දසදෙනා අතුරින් අවසන් පස්දෙනා මෙසේ ඔබට හඳුන්වා දුන් අප, හොඳම නායකයන් පස්දෙනාගේ තොරතුරු ඔබට ගෙන එන මීළඟ ලිපිය ළඟදීම..
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න