කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති එන්නත සිය රටට ගෙන ඒමෙන් පසුව තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය හැකි ඉක්මනින් මිල දී ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
කොරෝනා වයිරසයට එරෙහි එන්නත බංග්ලාදේශය වෙත ගෙන ඒමෙන් අනතුරුව නිල වශයෙන් ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට සති කීපයක් ගතවන අතර එය රජයේ නීතිරීතිවලට අනුව සිදු කිරීමට නියමිතව තිබුණි. එහෙත් අද (14) පැවති රැස්වීමකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එය හැකි ඉක්මනින් ලබා ගැනීමට අදාළ තීරණ ගෙන තිබේ.
බංග්ලාදේශ දේශීය රසායනාගාර ආයතනයක් වන Beximco ආයතනය හරහා මෙම කොරෝනා වයිරස් එන්නත එරටට ගෙන ඒමට බංග්ලාදේශ රජය පසුගිය දා තීරණය කළා. ඒ අනුව Serum Institute of India ආයතනය හරහා ඉන්දියාව විසින් නිෂ්පාදනය කළ මෙම එන්නත ඇනවුම් කර තිබේ. ජනවාරි මස අවසන් සති කීපය තුල එම එන්නත බංග්ලාදේශයට ගෙන ඒමට නියමිතව ඇත.
බංග්ලාදේශ රජය නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට එම එන්නත ලබා දීම සඳහා අදාළ ක්‍රීඩා සම්මේලන සහ ක්‍රීඩා ආයතන සඳහා එම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත. ඉන් අනතුරුව එය කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව ක්‍රීඩකයන්ට ලබා දීමට නියමිතය. කෙසේ වෙතත් එම සම්පූර්ණ වැඩසටහන සඳහා එන්නත ගෙන්වා ගැනීමෙන් අනතුරුව මාස දෙකක් හෝ තුනක් ගත වනු ඇති බව අනුමාන කර තිබුණි.
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2021 වසරේ දී තරගාවලි රැසකට සහභාගී වීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව සලකා බලා එම එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වන Nazmul Hasan මහතා මෙම කොරෝනා එන්නත ඇනවුම් කළ Beximco ආයතනයේ කළමනාකරණ අධ්යක්ෂවරයා ද වේ. එම නිසා අදාළ ආයතනය සෘජුවම සම්බන්ධ කරගෙන එන්නත ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
“අපි මේ එන්නත ගැන තීරණ කීපයක් ගත්තා. අපේ රටට එම එන්නත ගෙනල්ලා පෞද්ගලිකව විකුණන අවස්ථාවේ දී හැකි ඉක්මනින් එය මිල දී ගන්න අපි තීරණය කළා” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියෙකු වන Nizamuddin Chowdhury මහතා මාධ්‍ය වෙත පවසා සිටියා.
තම ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වූයේ රජයේ ක්‍රියාපිළිවෙතට අනුව ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ද අදාළ එන්නත නොමිලේ ලබා දීමට දිගු කාලයක් ගතවීම බව ඔහු තවදුරටත් පවසා සිටියා. එලෙස ලබා දීමේ දී ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රමුඛතාවය ලබාගත නොහැකි වීමත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
“ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉන්නවා. ඒත් ඔවුන් හැරුණු විට ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යන්න තවත් පුද්ගලයන් රැසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ට රජයෙන් එන්නත ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අපිට අවශ්‍ය එන්නත් මිල දී ගන්න තීරණය කලා” යැයි Nizamuddin Chowdhury වැඩිදුරටත් පැවසීය.
තවත් ක්‍රිකට් පුවත්:
- එංගලන්තයේ වාර්තාගත සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
- තරගාවලිය වෙනුවෙන් මාස 10ක් ලංකාවේ රැඳී සිටි එංගලන්ත ක්‍රිකට් ලෝලියා
- 2021 LPL ගැන ක්‍රීඩා කවුන්සිලයේ අවධානය
- 2021 වසර සුබ කරගැනීම මව් රටෙන්ම අරඹමු
- “කුසල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්” – Grant Flower
මේ පිළිබඳව විශේෂ වාර්තාවක් සපයමින් Cricbuzz වෙබ් අඩවිය පවසා සිටියේ මෙම එන්නත මිල දී ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව සෙසු නිලධාරීන්ට, පුහුණුකරුවන්ට මෙන්ම ක්‍රීඩා පිටිවල සේවකයන් සඳහා ද ලබා දීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇති බවයි.
ඒ අනුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, කාන්තා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, පළමු පෙළ ක්‍රීඩකයන්ට මෙන්ම Dhaka Premier League තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට ද මෙම එන්නත ලබා දීමට තීරණය වී තිබේ. එලෙස එන්නත ලබා දීමෙන් අනතුරුව එරට දේශීය ක්‍රිකට් තරගාවලි කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සැලසුම වී තිබේ.
බංග්ලාදේශය තුල මේ වන විට දිනකට ආසාදිතයින් 800කට ආසන්න පිරිසක් වාර්තා වන අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 525000 ඉක්මවා තිබේ. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 7800 ඉක්මවා තිබේ.
මාස කීපයකට පසු බංග්ලාදේශය තුල පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගාවලිය වන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය එළඹෙන ජනවාරි මස 20 වැනිදා ඩකා හිදී ආරම්භ වීමට නියමිතය.
Cricbuzz ඇසුරිනි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<