ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා A තරග හෙට සිට

Bangladesh Women's A team tour of Sri Lanka 2024

22
Bangladesh Women's A team tour of Sri Lanka 2024

සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ද්විත්වය හෙට (08) සිට ආරම්භ වීමට නියමිතයි. මෙම සංචාරය සඳහා එක්දින තරග 2ක් සහ විස්සයි විස්ස තරග 5ක් ඇතුලත් අතර සියලු තරග අගනුවර දී පැවැත්වේ.

එක්දින තරග කාලසටහන

1 වැනි එක්දින තරගය

  • සැප්තැම්බර් 08 – පනාගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

2 වැනි එක්දින තරගය

  • සැප්තැම්බර් 10 – කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

විස්සයි විස්ස තරග කාලසටහන

1 වැනි විස්සයි විස්ස තරගය

  • සැප්තැම්බර් 12 –කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

2 වැනි විස්සයි විස්ස තරගය

  • සැප්තැම්බර් 13 – කොළඹ, P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.

3 වැනි විස්සයි විස්ස තරගය

  • සැප්තැම්බර් 15 – කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

4 වැනි විස්සයි විස්ස තරගය

  • සැප්තැම්බර් 17 – කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.

5 වැනි විස්සයි විස්ස තරගය

  • සැප්තැම්බර් 19 – කොළඹ, හැව්ලොක් පෙදෙස Coltsක්‍රීඩාංගණයේ දී.

බංග්ලාදේශය

මෙම තරගාවලිය සඳහා එක් වෙන බංග්ලාදේශ කාන්තා A කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Rabeya Khan වෙතයි. ඇය මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 13කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29කට සහභාගී වී ඇති ක්‍රීඩිකාවක් වන අතර සංචාරය සඳහා එක් වෙන ක්‍රීඩිකාවන් 15 දෙනාගෙන් 14 දෙනෙක් ම බංග්ලාදේශය වෙනුවෙන් එක්දින හෝ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්.

එහි තවත් විශේෂත්වයක් වෙන්නේ Rabeya Khan ගේ නායකත්වය යටතේ මෙරට පිවිසි කණ්ඩායමට 27 හැවිරිදි වියේ පසුවෙන බංග්ලාදේශ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් ද්විත්වයේ වත්මන් නායිකාව වන Nigar Sultana Joty ද එක් වීමයි.

ඇය බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 47කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 99කට සහභාගී වෙමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවක්.

එමෙන් ම වර්ථමාන බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකාරිනිය වන Murshida Khatun ද  සහ මැදි පෙළ පිතිකාරිනී Sobhana Mostary ද, 17 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Swarna Akter සහ අත්දැකීම් සපිරි 31 වැනි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Ritu Moni ද මෙම කණ්ඩායමට ඇතුලත්.

එමෙන් ම වමතින් දඟ පන්දු යවන්නියන් වන Nahida Akter සහ Fahima Khatun ද දකුණතින් මඳ වේග පන්දු යවන Jahanara Alam ද මෙම කණ්ඩායමට ඇතුලත්.

මෙම කණ්ඩායම හා ආධුනික ක්‍රීඩිකාවක් ලෙසින් මෙතෙක් බංග්ලාදේශ ජාතික කණ්ඩායමක් නියෝජනය නොකළ ක්‍රීඩිකාවක් ලෙසින් සහභාගී වෙන්නේ 26 හැවිරිදි ඉදිරිපෙළ පිතිකාරිනී Taj Nehar පමණයි.

බංග්ලාදේශ කාන්තා A ක්‍රිකට් කණ්ඩායම

 

Rabeya Khan (නායිකාව), Murshida Khatun, Sobhana Mostary, Swarna Akter, Ritu Moni, Nahida Akter, Nigar Sultana Joty, Sultana Khatun, Fahima Khatun, Marufa Akter, Jahanara Alam, Dilara Akter, Taj Nehar, Sabikun Nahar Jesmin සහ Shamima Sultana.

ශ්‍රී ලංකාව

බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 25 වැනි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සංදීපනී වෙතයි. ඇය 2020 වසරේ දී ඉන්දියාවට එරෙහි ව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් එම තරගයට පමණක් මෙතෙක් සහභාගී වූ ක්‍රීඩිකාවක්.

කෙසේ වෙතත් ඇය දේශීය තරග පිටියේ කැපී පෙණෙන ක්‍රීඩිකාවක් බවට පත් ව ඇති අතර පසුගිය පෙබරවාරියේ දී නිමා වූ ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

මෙම කණ්ඩායමට එක්දින ජාත්‍යන්තර තරගයක් සහ විස්සයි විස්සයි ජාත්‍යන්තර තරග 12කට දායකත්වය ලබා දී ඇති මල්ෂා ශෙහානි ද එක් වෙන අතර ඇය කණ්ඩායමේ උප නායිකාව ලෙසින් ද නම් කර තිබෙනවා.

ඊට අමතර ව එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2කට ක්‍රීඩා කර ඇති ඉදිරිපෙළ පිතිකාරිනී ඉමේෂා දුලානි, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති මැද පෙළ පිතිකාරිනී කෞෂිනී නුත්‍යාංගනා සහ එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට ක්‍රීඩා කර ඇති තාරිකා සෙව්වන්දි ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.

එමෙන් ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දෙව්මි විහංගා, මීට පෙර ද ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කර ඇති පියුමි වත්සලා, නිලක්ෂනා සඳමිනි, නෙත්මි සේනාරත්න සහ නිමේෂා මධුශානි ද සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට පමණක් සහභාගී වී ඇති මල්කි මදාරා සහ තාරුකා ෂෙහානි ද බංග්ලාදේශයට එරෙහි ව තරග බීමට පිවිසීමට සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), මල්ෂා ශෙහානි (උප නායිකාව), කෞෂිනි නුත්‍යාංගනා, පියුමි වත්සලා, නිලක්ශනා සඳමිනි, ඉමේෂි දුලානි, නෙත්මි සේනාරත්න, මල්කි මදාරා, දෙව්මි විහංඟා, නිමාෂා මධුශානි, චේතනා විමුක්ති, තාරුකා ශෙහානි, තාරිකා සෙව්වන්දි, අමාධි විජේසිංහ සහ සඳලි වීරසිංහ.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<