බංග්ලාදේශය වේලාසනින් ම තරගාවලිය දිනා ගනී

9

ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (15) කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූවා. 

ඒ අනුව තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරි ව තිබිය දී ම තරග 3-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ඔවුන් හැකි වුණා.  

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 97ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 87ක් පමණයි.  

අද තගරයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කාව්‍යා කාවින්දි වෙනුවට තාරිකා සෙව්වන්දි කණ්ඩායමට කැඳවා තිබූ අතර බංග්ලාදේශය වෙනුවෙන් Jahanara Alam සහ Sabikun Nahar Jesmin වෙනුවට Nahida Akter සහ Marufa Akter කැඳවා තිබුණා.  

ශ්‍රී ලංකා A කණ්ඩායම   

සත්‍යා සංදීපනී (නායිකාව), නෙත්මි පූර්ණා, ඉමේෂා දුලානි, සඳලි වීරසිංහ, කෞෂිනි නුත්‍යාංගා (කඩුලු රකින්නිය), නිලක්ෂනා සඳමිණි, මල්ෂා ෂෙහානි, මලකි මදාරා, තාරිකා සෙව්වන්දි, තාරුකා ශෙහානි සහ නිමේෂා මධුශානි. 

බංග්ලාදේශ A කණ්ඩායම 

Rabeya Khan (නායිකාව), Dilara Akter, Shathi Rani, Sobhana Mostary, Nigar Sultana (කඩුලු රකින්නිය), Taj Nehar, Ritu Moni, Fahima Khatun, Nahida Akter, Sultana Khatun, Marufa Akter 

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 97ක් පමණයි. එය මෙම තරගාවලියේ සංචාරක ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ගිය පළමු අවස්ථාවයි.  

මෙම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකාරිනී Shathi Rani. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව බංග්ලාදේශ ඉනිම අවසන් වන විට Ritu Moni පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.  

බංග්ලාදේශ ඉනිම වරෙක කඩුලු 4ක් ලකුණු 11ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ අතර ඉනිමේ හොඳම පන්දු යැවීමේ ගෞරවය මල්ෂා ෂෙහානි සතු කර ගත්තා. ඇය තම පන්දුවාර 4 ලකුණු 12කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගත්තා.  

ඊට අමතර ව නිමේෂා මධුශාන් කඩුලු 2ක් ද සහ තාරුකා ෂෙහානි සහ මල්කි මදාරා කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරග 2කට පසුව ජයග්‍රහණය සඳහා පහසු ඉලක්කයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ වෙනුවෙන් පිටියට පිවිසිය ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 87ක් පමණයි.   

ඔවුන්ගේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දැවී යන අතර අනතුරු ව 6 වැනි පන්දුවාරයේ තවත් කඩුලු 2ක් දවා ගත් සංචාරක ක්‍රීඩිකාවෝ තරගයේ පාලනය තමන් වෙත තබා ගත්තා.  

ඊට තරමක් තරගයක් දීමට පෙර මුණ ගත්තේ මැදි පෙළින් පිටියට පිවිසි කෞෂිනි නුත්‍යාංගා සහ නිලක්ෂනා සඳමිනි යි. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 26ක සබඳතාවක් ගොඩ නගනවා.  

එහි දී නිලක්ෂනා සඳමිනි පන්දු 37කට මුහුණ දෙමින් ලකුණු 22ක් ද සහ කෞෂිනි නුත්‍යාංගා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නායිකා සත්‍යා සංදීපනී පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ.  

කඩුලු දවා ගැනීමේ දී Marufa Akter, Nahida Akter සහ Rabeya Khan කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Fahima Khatun සහ Sultana Khatun කඩුල්ල බැගින් දවා ගත්තා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 9ක් දැවී 97 (20.0) Shathi Rani 26, Ritu Moni නොදැවී 25, නිමේෂා මධුශානි 2/19, මල්ෂා ෂෙහානි 4/12 

ශ්‍රී ලංකා A කණ්ඩායම සියලුම කඩුලු 9ක් දැවී 87 (20.0) කෞෂිනි නුත්‍යාංගා 21, නිලක්ෂනා සඳමිනි 22, Marufa Akter 2/16, Nahida Akter 2/16, Rabeya Khan 2/22 

බංග්ලාදේශ A කණ්ඩායමට ලකුණු 10ක ජයක්. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 4 වැනි තරගය මේ මස 17 වැනිදා කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<