බංග්ලාදේශයට ලකුණු 104ක ජයක්

Bangladesh Women's A team tour of Sri Lanka 2024

17
Bangladesh Women's A team tour of Sri Lanka 2024

පා දඟ පන්දු යවන Rabeya Khan ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (13) කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 104ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූවා.

ඒ අනුව තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තරග 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ඔවුන් හැකි වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 60ක් පමණයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස් කමක් සහිතව පිටියට පිවිසෙන අතර ඒ අනුව පියුමි වත්සලා වෙනුවට සඳලි වීරසිංහ කණ්ඩායමට එක් කර තිබුණා.

සංචාරක ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදු වී තිබුණා. ඒ කඩුලු රැකි ක්‍රීඩිකා   Shamima Sultan වෙනුවට කඩුලු රැකීම වෙනුවෙන් Dilara Akter කැඳවා තිබූ අතර Murshida Khatun වෙනුවට Nigar Sultana කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම  

 

සත්‍යා සංදීපනී (නායිකාව), කෞෂිනි නුත්‍යාංගා, නෙත්මි පූර්ණා, ඉමේෂා දුලානි, සඳලි වීරසිංහ, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), මල්ෂා ෂෙහානි, මලකි මදාරා, කාව්‍යා කාවින්දි, තාරුකා ශෙහානි සහ නිමේෂා මධුශානි.

බංග්ලාදේශ A කණ්ඩායම

 

Rabeya Khan (නායිකාව), Dilara Akter (කඩුලු රකින්නිය), Shathi Rani, Sobhana Mostary, Nigar Sultana, Taj Nehar, Ritu Moni, Fahima Khatun, Jahanara Alam, Sultana Khatun සහ Sabikun Nahar Jesmin.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

එම ඉනිමේ පළමු කඩුල්ල 11 වැනි පන්දුවේ දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද එතැන් සිට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කිරීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වුනා. ඔවුන් 2 වැනි කඩුල්ල සඳහා පන්දු 68ක දී ලකුණු 80ක් ලබා ගන්නවා. ඊට දායක වෙන්නේ Shathi Rani සහ Sobhana Mostary.

ඔවුන් දෙදෙනා ම තම ඉනිම් අතර මග දී පිටියෙන් ඉවත් වෙන අතර ඒ වෙද්දී Shathi Rani පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. Sobhana Mostary ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිම අවසන් වෙද්දී Nigar Sultana පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මලිකි මදාරා ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව මල්ශා ශෙහානි ද කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 60ක් පමණයි. එහි දී ආරම්භක පිතිකාරිනියන් වූ කෞෂිනි නුත්‍යාංගා සහ නෙත්මි පූර්ණා පළමු කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 21ක් එක් කළ අතර එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුනා.

එහි දී නෙත්මි පූර්ණා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත් අතර කෞෂිනී නුත්‍යාංගා පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනාට අමතර ව අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්ක 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණිමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමේ දී පෙරමුණ ගත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29කට දායකත්වය දක්වා ඇති Rabeya Khan. පා දඟ පන්දු යවන 19 වැනි වියේ පසුවෙන Rabeya Khan තම පන්දු යැවීම නිමා කරන්නේ ලකුණු 4කට කඩුලු 4ක් දවා ගනිමිනුයි. ඒ සඳහා ඔහු යවනු ලබන්නේ පන්දු 16ක් පමණයි.

ඊට අමතර ව Fahima Khatun ලකුණු 3කට කඩුලු 2ක් ද, Sultana Khatun ලකුණු 11කට කඩුලු 2ක් ද,  Ritu Moni සහ Jahanara Alam කඩුල්ල බැගින් ද ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශ A කණ්ඩායම කඩුලු 6ක් දැවී 164 (20.0) Shathi Rani 50, Sobhana Mostary 39, Nigar Sultana නොදැවී 34, මල්කි මදාරා 2/25, මල්ෂා ෂෙහානි 2/22

ශ්‍රී ලංකා A කණ්ඩායම සියලුම දෙනා දැවී 60 (16.4) නෙත්මි පූර්ණා 18, Sultana Khatun 2/11, Rabeya Khan 4/04,  Fahima Khatun 2/03

බංග්ලාදේශ A කණ්ඩායමට ලකුණු 105ක ජයක්.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 3 වැනි තරගය මේ මස 15 වැනිදා කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<