බංග්ලාදේශය ජයග්‍රහණයකින් T20 තරගාවලිය ආරම්භ කරයි

Bangladesh Women's A team tour of Sri Lanka 2024

21
Bangladesh Women's A team tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා A කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (12) කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූවා.

තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 112ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 113ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකා A කණ්ඩායම  

 

සත්‍යා සංදීපනී (නායිකාව), කෞෂිනි නුත්‍යාංගා, නෙත්මි පූර්ණා, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), මල්ෂා ෂෙහානි, මලකි මදාරා, කාව්‍යා කාවින්දි, තාරුකා ශෙහානි සහ නිමේෂා මධුශානි.

බංග්ලාදේශ A කණ්ඩායම

 

Rabeya Khan (නායිකාව), Shathi Rani, Shamima Sultan (කඩුලු රකින්නිය), Sobhana Mostary, Murshida Khatun, Taj Nehar, Ritu Moni, Sultana Khatun, Sabikun Nahar Jesmin, Fahima Khatun සහ Jahanara Alam

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ආරම්භක පිතිකාරිනියන් වූ කෞෂිනි නුත්‍යාංගා සහ නෙත්මි පූර්ණා සමත් වූවා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 73ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කරනවා. නමුත් ඊට පසුව පිටියට පිවිසි ක්‍රීඩිකාවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට එක් වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 112ක් පමණයි.

පළමු කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරු ව ලකුණු 16ක් තුළ තවත් කඩුලු 5ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙණුනා. අනතුරු ව 7 වැනි කඩුල්ල සඳහා මල්කි මදාරා (08) සහ නිලක්ෂනා සඳමිනි පන්දු 10ක දී ලකුණු 13ක් එක් කරමින් එම රිද්මය වෙනස් කිරීමට සමත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ කෞෂිනි නුත්‍යාංගනා යි. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. නෙත්මි පූර්ණ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27ක්. ඇය ඊට පන්දු 40ක් වැය කරන අතර හතරේ පහරක් ඒ අතරට එක් කරනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව නිලක්ෂනා සඳමිනි පන්දු 14ක දී නොදැවී ලකුණු 14ක් ලබා ගන්නා ලද අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 84ක අත්දැකීම් සහිත පා දඟ පන්දු යවන Fahima Khatun ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව Sultana Khatun, Jahanara Alam සහ Rabeya Khan කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශයෙන් ද වාර්තා වූයේ සාර්ථක ආරම්භයක්. Shathi Rani සහ Shamima Sultan විසින් එම ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 40ක් තම ඉනිමට එක් කළා.

ඒ අතුරින් පළමුවෙන් දැවී යන්නේ Shathi Rani. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී Shamima Sultan සහ Sobhana Mostary එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 56ක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන යෑමට සමත් වුනා.

එහි දී දැවී යන්නේ බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ලද Shamima Sultan. ඇය දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ තරගයේ එක් කරන ලද එක ම හයේ පහර ද එල්ල කරමින් ලකුණු 48ක් ලබා ගත්තා.

ඊට අමතර ව Sobhana Mostary පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Murshida Khatun පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 11ක් ද සහ Taj Nehar පන්දු 3ක දී ලකුණක් ද ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මල්ෂා ෂෙහානි ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර තාරුකා ශෙහානි කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 112 (20.0) කෞෂිනි නුත්‍යාංගා 43, නෙත්මි පූර්ණා 27, නිලක්ෂනා සඳමාලි 14, Fahima Khatun 3/12

 

බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 5ක් දැවී 113 (18.5) Shathi Rani 20, Shamima Sultan 48, Sobhana Mostary 28, මල්ෂා ෂෙහානි 2/22

 

බංග්ලාදේශ A කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 2 වැනි තරගය හෙට (13) කොළඹ P. Sara Oval පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<