ශ්‍රී ලංකා පිතිකාරිණියන් පෙන්නුම් කළ අතිසාර්ථක පිතිහරඹයත්, ඕෂධි රණසිංහගේ විශිෂ්ට පන්දුකරණයත් නිසා අද (04) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව SSC පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 58ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුනා.
කොළඹ ප්‍රදේශයේ අද උදෑසන පැවති වැහිබර කාලගුණ තත්ත්වය නිසා තරගය සැලසුම් කර තිබූ පරිදි පෙරවරු 10ට ආරම්භ කිරීමට හැකි වුනේ නැහැ. හෝරා කිහිපයක ප්‍රමාදයකින් පසු අද දහවල් වන විට තරගය ඇරඹුණේ එක් කණ්ඩායමකට පන්දුවාර 30ක් බැගින් වන තරගයක් ලෙසයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් චමරි අතපත්තු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලබා ගත්තා.
ඒ අනුව ඉනිම ආරම්භ කළ චමරි අතපත්තු සමඟින් විශ්මි ගුණරත්න පළමු කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගුවා. එහි දී ආරම්භය තරමක් මන්දගාමී වුවත් ඔවුන් දෙදෙනා දමා දුන් පදනම සාර්ථක ඉනිමකට මග පෙන්වූවා. අද පන්දු 30කට මුහුණ දී ලකුණු 17ක් රැස්කළ විශ්මි ගුණරත්න පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ Jahanara Alam දුවගොස් ඉදිරියට පැන රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසයි.
අනෙක් අන්තයේ සිටි චමරි අතපත්තු අදත් සුපුරුදු පරිදි ප්‍රතිවාදී පන්දු යවන්නියන්ට හතර අතේ පහර දෙමින් අර්ධ ශතකය කරා ගමන් ගත්තා. මැනවින් කල් යල් මැන එල්ල කරන ලද ඩ්‍රයිව් පහරවල්, ස්වීප් පහරවල් සමඟින් චමරි ක්‍රීඩා කළ අයුරු දකින විට ඇය ආධුනික බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට වඩා වෙනස්ම වූ තලයක සිටින පිතිකාරිණියක් බව පෙනෙන්නට තිබුණා. පන්දු 60කට මුහුණ දුන් ඇය ලකුණු 64ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ද සමඟයි.
අවසානයේ Sultana Khatun යැවූ පිට ඉන්න දෙසින් පතිත වී කඩුල්ල තුලට දඟ කැවුණු පන්දුවකට තම ප්‍රියතම ස්ලොග්-ස්වීප් පහර එල්ල කරන්නට යද්දී චමරි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුනා. ඒ හර්ෂිතා සමඟ තවත් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගා අවසන් වූ වහාමයි. නිලක්ෂි ද සිල්වා එක් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්ත ද ඇයට වැඩිකල් පිටියේ රැඳෙන්නට Fahima Khatun ඉඩ ලබා දුන්නේ නැහැ.
අනුෂ්කා සංජීවනී ලකුණු 12කට දවා ගැනීමට Nahida Akter සමත් වීමත් සමඟ නැවතත් බංග්ලාදේශය තරගයට අවතීර්ණ වුනා. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුනේ ලකුණු 146ට කඩුලු 4ක් ලෙසයි. මේ මොහොතේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි ප්‍රහාරාත්මක පිතිකාරිණියක් ලෙස නම් දරා ඇති හර්ෂිතා මාධවී ශ්‍රී ලංකා ලකුණු වේගය වැඩි කරනු ඇතැයි බොහෝදෙනා සිතූවත් සිදුවූයේ කිසිවෙකු නොසිතූ දෙයක්.
අංක 6 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි කවීෂා දිල්හාරි වැඩි වැඩියෙන් පිතිකරණ අන්තය ලබාගෙන අති දක්ෂ ඉනිම් අවසන් කරන්නියකගේ භූමිකාව අද මැනවින් රඟ දක්වනු ලැබුවා. එහි දී ඇය අවසන් පන්දුවාරයේ දී Jahanara Alamට පිටිය සිසාරා පහර දෙමින් ලකුණු 18ක් උදුරා ගත්තේ ඉතාමත් අලංකාරව එල්ල කරන ලද ඩිල්ස්කූප් පහරක් ද සමඟින්. බොහෝදුරට චමරි සහ හර්ෂිතා මත ගොඩ නැගෙන ශ්‍රී ලංකා ඉනිම්වලට මෙවන් නවක තරු ගෙන එන්නේ ආශිර්වාදයක්.
ඉනිමේ නිමාව දක්වාම පිටියේ රැඳී සිටි හර්ෂිතා මාධවී ටිකෙන් ටික තම ලකුණු වේගය වැඩි කර ගනිමින් පන්දු 48කින් ලකුණු 45ක් රැස් කළා. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර ද්විත්වයක් සමඟයි.
පන්දු යැවීමේ දී බංග්ලාදේශය යොදා ගත් පන්දු යවන්නියන් පස් දෙනාම එක් කඩුල්ල බැගින් දවා ගත්තා. සයවැනි කඩුල්ලට පන්දු 27කින් වේගවත් ලකුණු 40ක් ලබාගත් ශ්‍රී ලංකාවට මුළු ලකුණු 186ක් කරා යාමට අවස්ථාව ලැබුණා.
- වර්ෂාවේ කෙණෙහිලිකම් නිසා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ දින සංශෝධනය කෙරේ
- බංග්ලාදේශයට එරෙහිව වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය
- සත්කාරක ශ්‍රී ලංකාව සහ බංගලි කතුන්ගේ සංචාරය
- මෙරට පිතිකාරිණියන් අසරණ වූ පුහුණු තරගයේ ජය බංග්ලාදේශයට
පන්දුවාර 30කින් ලකුණු 187ක් හඹා යාම බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පහසු නොවන බව මුල සිටම පෙනෙන්නට තිබුණා. දෙවැනි පන්දුවාරයේ දී ම ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට සමත් වූ අතර එහි දී දැවී ගියේ ලකුණු 5ක් ලබා සිටි Shamima Sultanaයි. ඒ වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා යාර 30 සීමාව තුල සිට පහසු උඩපන්දුවක් රැක ගත්තා.
දිගින් දිගටම බංග්ලාදේශ පිතිකාරිණියන් බියෙන් තැති ගැන්වූ ඕෂධි දෙවැනි කඩුල්ල ලෙස Sobhana Mostary පිටියෙන් ඉවත් කළේ ලකුණු 11කටයි. එක් වරක් ලකුණු 7 දී ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් උඩපන්දුවක් ගිලිහී යාම නිසා වාසනාවන්ත වුනු Murshida Khatun නැවතත් ලකුණු 16 දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගන්නට සුගන්ධිකා කුමාරි සමත් වුනා.
ලකුණු 35කට කඩුලු 3ක් දැවී ගොස් අසරණ වූ බංග්ලාදේශයට නැවතත් යම් තරමක හෝ බලාපොරොත්තුවක් එක් කරන්නේ Fargana Hoque සමඟින් නායිකා Nigar Sultanaයි. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ගොඩ නැගූ සබඳතාවය ලකුණු 61ක්.
අවසානයේ මෙම සබඳතාවය බිඳ දැමීමට චමරි අතපත්තු සමත් වෙන්නේ බංග්ලාදේශ නායිකාව පිටියෙන් ඉවත් කරමින්. ඉන්පසු නැවතත් ශ්‍රී ලංකාවට තරගයේ අණසක පැතිරවීම අපහසු වුනේ නැහැ.
තරගය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී බංග්ලාදේශ ඉනිම ලකුණු 128කට සීමා කිරීමට ඔවුන්ට හැකි වුනා. පන්දු යැවීමේ දී බංග්ලාදේශ පිතිකාරිණියන්ට හිසරදයක් වූ ඕෂධි අද ලකුණු 34කට කඩුලු 5ක්ම දවා ගත්තා. මෙය වසර 20කට පසු ශ්‍රී ලංකා පන්දු යවන්නියක් එක්දින තරගයකදී කඩුලු 5 බැගින් බිඳ හෙළු පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.
ඇයට පෙර එම දස්කම දක්වා ඇත්තේ සුදර්ශිනී සිවනන්තම් සහ සඳමාලි දොලවත්ත යන ක්‍රීඩිකාවන් දෙදෙනා පමණයි. ඕෂධිගේ සාර්ථකවයට අනෙක් අන්තයෙන් අඩු ලකුණු ගණනකට පන්දුවාර අවසන් කර දුන් උදේශිකා ප්‍රබෝදනී, සුගන්ධිකා කුමාරි, ඉනෝකා රණවීර වැනි පන්දු යවන්නියන් ද උපකාරී වූ බව සඳහන් කළ යුතුයි. ඔවුන් අද එක් කඩුල්ල බැගින්ද බිඳ හෙළුවා.
Fargana Hoque ලකුණු 24ක් රැස් කරද්දී පසුපෙළ පිතිකාරිණියන් සය දෙනාටම ලකුණු 10 සීමාව හෝ පසු කරන්නට ශ්‍රී ලංකාව ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. දෙරට අතර පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන්නටයි බලධාරීන් කටයුතු කළේ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | lbw b Sultana Khatun | 64 | 60 | 6 | 4 | 106.67 |
Vishmi Gunaratne | c Jahanara Alam b Ritu Moni | 17 | 30 | 2 | 0 | 56.67 |
Harshitha Samarawickrama | not out | 45 | 48 | 1 | 2 | 93.75 |
Nilakshi de Silva | lbw b Fahima Khatun | 11 | 16 | 1 | 0 | 68.75 |
Anushka Sanjeewani | c Fargana Hoque Pinky b Nahida Akter | 12 | 11 | 1 | 0 | 109.09 |
Kavisha Dilhari | c Nahida Akter b Jahanara Alam | 25 | 15 | 3 | 1 | 166.67 |
Extras | 12 (b 1 , lb 1 , nb 0, w 10, pen 0) |
Total | 186/5 (30 Overs, RR: 6.2) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jahanara Alam | 6 | 0 | 47 | 1 | 7.83 | |
Sultana Khatun | 6 | 0 | 22 | 1 | 3.67 | |
Nahida Akter | 6 | 0 | 36 | 1 | 6.00 | |
Ritu Moni | 6 | 1 | 39 | 1 | 6.50 | |
Fahima Khatun | 6 | 0 | 40 | 1 | 6.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shamima Sultana | c Nilakshi de Silva b Oshadi Ranasinghe | 5 | 6 | 1 | 0 | 83.33 |
Murshida Khatun | lbw b Sugandika Kumari | 16 | 24 | 2 | 0 | 66.67 |
Sobhana Mostary | c Nilakshi de Silva b Oshadi Ranasinghe | 11 | 7 | 0 | 1 | 157.14 |
Nigar Sultana | c Kavisha Dilhari b Chamari Athapaththu | 37 | 51 | 1 | 2 | 72.55 |
Fargana Hoque Pinky | c Harshitha Madavi b Oshadi Ranasinghe | 24 | 46 | 2 | 0 | 52.17 |
Ritu Moni | c Vishmi Gunaratne b Oshadi Ranasinghe | 9 | 11 | 1 | 0 | 81.82 |
Nahida Akter | b Inoka Ranaweera | 7 | 10 | 0 | 0 | 70.00 |
Sultana Khatun | c Kavisha Dilhari b Oshadi Ranasinghe | 1 | 2 | 0 | 0 | 50.00 |
Fahima Khatun | not out | 9 | 10 | 0 | 0 | 90.00 |
Jahanara Alam | b Udeshika Prabodhani | 4 | 12 | 0 | 0 | 33.33 |
Lata Mondal | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0) |
Total | 128/10 (29.5 Overs, RR: 4.29) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Udeshika Prabodhani | 3.5 | 0 | 15 | 1 | 4.29 | |
Oshadi Ranasinghe | 6 | 0 | 34 | 5 | 5.67 | |
Sugandika Kumari | 6 | 0 | 20 | 1 | 3.33 | |
Inoka Ranaweera | 6 | 1 | 16 | 1 | 2.67 | |
Kavisha Dilhari | 4 | 0 | 30 | 0 | 7.50 | |
Chamari Athapaththu | 4 | 0 | 12 | 1 | 3.00 |
තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගය මැයි 07 වෙනිදා පෙරවරු 10ට SSC පිටියේ දී ම ආරම්භ වීමට නියමිතයි. එහි උණුසුම් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<