බංග්ලාදේශ කණ්ඩායමෙන් සභාපතිගේ කණ්ඩායමට පාඩමක්

1538

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) CCC පිටියේ දී පැවැත්වූ සුහද විස්සයි විස්ස තරගය ලකුණු 41කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී කැපී පෙනෙන ක්‍රීඩකයින් බවට පත්වීමට මශ්ෆිකර් රහීම්, මහමදුල්ලා, නිරෝෂන් දික්වැල්ල හා අසිත ප්‍රනාන්දු සමත් විය.

[rev_slider LOLC]

”ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.” – චන්දිමාල්

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් …

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසි  බංගලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි විය. ඒ අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට සෞම්‍ය සර්ක්කාර් දැවී යාම නිසාවෙනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ජෙහාන් ඩැනියල් සබීර් රේමාන්ව එක් ලකුණකට දවා ගැනීමත් සමඟම බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 14ක් ලෙස දැක්විය. ඉන් අනතුරුව පිටියේ එක්වූ ලිට්න් ඩාස් හා නායක මහමදුල්ලා පිළිවෙළින් පන්දු 18ක් තුළ ලකුණු 40ක් හා පන්දු 27ක් තුළ ලකුණු 43ක් එක් කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩනංවන ලදි.

කඩුලු රකින මැදපෙළ පිතිකරු මශ්ෆිකර් රහීම් බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළේ පන්දු 44ක් තුළ ලකුණු 65ක් ලබා ගනිමින් වන අතර එම ඉනිමට 4පහර 6ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. ලහිරු කුමාරගේ පන්දුවකට මශ්ෆිකර් රහීම් දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සේට උඩ පන්දුවක් ලබා දෙමිනි. අවසානයේ බංග්ලාදේශ ඉනිම ලකුණු 186කට සීමා විය. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2යි.

ලකුණු 187ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නිරෝෂන් දික්වැල්ල හා ඩිල්ශාන් මුණවීර බංගලාදේශ පන්දු යවන්නන් හමුවේ වේගවත් ලෙස ලකුණු රැස් කළේය. එහි දී දික්වැල්ල පන්දු 13ක් තුල ලකුණු 27ක් රැස්කර ගත්තේ 4 පහර 5ක් හා එක 6 පහරක් සමඟිනි.

ඩිල්ශාන් මුණවීර, සධීර සමරවික්‍රම හා ධනංජය ද සිල්වා හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටස්කින් අහමඩ් ඇතුළු බංග්ලාදේශ පන්දු යවන්න ඉඩ නොදුන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරා හා ලහිරු මිලන්ත පිළිවෙළින් ලකුණු 22ක් හා ලකුණු 19ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 145ක් ලබාගත් අතර නොදැවී ක්‍රීඩා කළ ජෙහාන් ඩැනියල් ලකුණු 10*යි. පන්දු යැවීමේ දී ටස්කින් අහමඩ් හා රුබෙල් හුසේන් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

බංග්ලාදේශ  – 186/5 (20): මශ්ෆිකර් රහීම් 65, මහමදුල්ලා 43, ලිට්න් ඩාස් 40, අසිත ප්‍රනාන්දු 2/22.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – 145 (19): නිරෝෂන් දික්වැල්ල 27, ඇන්ජලෝ පෙරේරා 22, ලහිරු මිලන්ත 19, ටස්කින් අහමඩ් 2/16, රුබෙල් හුසේන් 2/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<