වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ දී විග්නේෂ්වරන් ආකාශ්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

Bangladesh U17 Tour Of Sri Lanka 2024

27

බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වුන පළමු එක්දින තරගය ඊයේ (24) දිනයේ දී විසඳුමකින් තොරව අවසන් වුනා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහුගේ ආරධනයෙන් බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. මෙහි දී බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Abdullah Al Muhi ලකුණු 31ක් සහ MD Ridoy Hossain ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, විග්නේෂ්වරන් ආකාශ් විසින් ඔවුන් දෙදෙනාවම දවා ගනිමින් තරගයෙ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනා. 

එතෙක් වේලා පහසුවෙන් ලකුණු සොයා යමින් සිටි බංග්ලාදේශ පිතිකරුවන් මෙතැනින් පසුව සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, මේ අනුව බංග්ලාදේශ සියලු ම පිතිකරුවන් ලකුණු 141කට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. 

මෙහි දී අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාශ් ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. 

ඊට අමතරව රසිත් නිම්සර විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

බංග්ලාදේශයෙන් ලද ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකාව පන්දුවාර 5 පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටි මොහොතේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, මේ හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට සිදු වුනා. 

තරගය නතර කරන විට රෙහාන් පීරිස් (ලකුණු 11) සහ ජනිඳු රණසිංහ (ලකුණු 06) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. 

  • බංග්ලාදේශය – 141/10 (33.5) MD Ridoy Hossain 40, Abdullah Al Muhi 30, විග්නේෂ්වරන් ආකාශ් 27/5, රසිත් නිම්සර 2/19 
  • ශ්‍රී ලංකාව – 23/1 (5.3) රෙහාන් පීරිස් 11*, ජනිඳු රණසිංහ 06*, MD Abur Rahim 1/8 

තරගය ජය පරාජයෙන් තොරයි. 

තරගාවලියේ මීළඟ එක්දින තරගය එළඹෙන 26 (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<