බංග්ලාදේශ යෞවනීයෝ තරගාවලිය සම කරයි

65
Bangladesh U 19 Women Tour of Sri Lanka

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 4කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-2ක් ලෙසින් සම ව නිමා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ අද (9) සමත් වුනා.

කොළඹ, හැව්ලොක් පෙදෙස BRC ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම තරගාවලිය මෙලෙසින් අවසන් කළා.

ඒ අනුව තරගාවලියේ පළමු තරග ද්විත්වයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කළ අතර ඊට පසුව පැවැති තරග ද්විත්වය ජයග්‍රහණය කරන්නේ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට එක් වූ කණ්ඩායම ම කැඳවා තිබූ අතර බංග්ලාදේශ කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් තරගයට එක් වී තිබුණා. ඒ පෙර තරගයට එක් වූ Habiba Islam වෙනුවට Anisa Akter Soba එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, දැහැමි සෙනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), හිරුණි හංසිකා, ශෂිනි ගිම්හානි, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා, රශ්මි නේත්‍රාංජලී.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Sumaiya Akter (නායිකාව), Mosammat Eva, Fahomida Choya, Sumaiya Akther Suborna (කඩුලු රකින්නිය), Sadia Islam, Afia Ashima, Jannatul Maoua, Sadia Akter, Farjana Easmin, Nishita Akter Nishi, Anisa Akter Soba.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශය සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 126ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Jannatul Maoua.

ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. ඊට අමතර ව Afia Ashima පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 37ක සබඳතාවක් ද එක් කරනවා.

ඊට පෙර ඉනිමේ 2 වැනි කඩුල්ල වෙනුවෙන් Sumaiya Akther Suborna (13) සහ Mosammat Eva පන්දු 26කදී ලකුණු 30ක සබඳතාවක් එක් කළා. එහි දී Mosammat Eva පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රශ්මිකා සෙව්වන්දි ලකුණු 28කට කඩුලු 3ක් ද සහ චමෝදි ප්‍රබෝධා ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව අසෙනි තලගුණේ, රශ්මි නේත්‍රාංජලී සහ හිරුණි හංසිකා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවට තම ඉනිම ආරම්භ කිරීමට සිදු වන්නේ අවාසනාවත් සමඟිනුයි. ඉනිමේ පළමු පන්දුවේ දී ම සංජනා කාවින්දි ලකුණු නොලබා ම දැවී ගියා. අනතුරු ව ඊට පසු පන්දුවාරයේ දි විමෝක්ෂා බාලසූරිය ද ලකුණු නොලබා ම දැවී ගියා.

එතැන් සිට පිටියේ ක්‍රියාත්මක වූ දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර 3 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 31ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ දැහැමි සෙනෙත්මා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව එතෙක් වගකීම් සහිත ඉනිමක නිරත වූ මනුදි නානායක්කාර ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඇය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

අනතුරු ව සුමුදු නිසංසලා (7), රශ්මිකා සෙව්වන්දි (0), ශෂිනි ගිම්හානි (5) සහ රශ්මිකා නේත්‍රාංජලී (1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගනිද්දී හිරුණි හංසිකා එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් බංග්ලාදේශයට එරෙහි ව තනි සටනක නිරත වෙනවා.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 105කට සීමා වෙමින් අවසන් වෙද්දී හිරුණි හංසිකා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා. ඇය.් සමඟින් අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි චමෝදි ප්‍රබෝධා පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 3ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Jannatul Maoua ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Nishita Akter Nishi, Fahomida Choya, Anisa Akter Soba සහ Farjana Easmin කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 126 (19.5) Mosammat Eva 20, Afia Ashima 21, Jannatul Maoua 24, රශ්මිකා සෙව්වන්දි 3/28, චමෝදි ප්‍රබෝධා 2/18

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 105 (20.0) මනුදි නානායක්කාර 25, හිරුණි හංසිකා නොදැවී 44, Jannatul Maoua 3/23

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 21ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<