සංචාරක ක්‍රීඩිකාවෝ පළමු ජය වාර්තා කරයි

Bangladesh U 19 Women Tour of Sri Lanka

55
Bangladesh U 19 Women Tour of Sri Lanka

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ අද (8) සමත් වුනා.

ඒ අනුව තරග 4කින් යුත් මෙම ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අවසන් වූ තරග 3න් 2-1ක් ලෙසින් ජය ගෙන පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ වන විට සමත් ව සිටිනවා.

මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 109ක් ලබා ගත් අතර එම ඉලක්කය ඉනිමේ තවත් පන්දු 2ක් සහ කඩුලු 4ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වුනා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට එක් වූ ලිමංසා තිලකරත්න සහ ප්‍රමුදි මෙත්සරා වෙනුවට හිරුණි හංසිකා සහ රශ්මි නේත්‍රාංජලී කැඳවා තිබූ අතර බංග්ලාදේශ කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කරමින් තරගයට එක් වී තිබුණා. ඒ පෙර තරගයට එක් වූ Juairiya Ferdousz, Farjana Easmin සහ Lucky Khatun වෙනුවට Mosammat Eva, Sumaiya Akther Suborna සහ Nishita Akter Nishi

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, දැහැමි සෙනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), හිරුණි හංසිකා, ශෂිනි ගිම්හානි, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා, රශ්මි නේත්‍රාංජලී.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Sumaiya Akter (නායිකාව), Mosammat Eva, Fahomida Choya, Sumaiya Akther Suborna (කඩුලු රකින්නිය), Sadia Islam, Afia Ashima, Jannatul Maoua, Sadia Akter, Nishita Akter Nishi, Habiba Islam, Nishita Akter Nishi 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය සුපුරුදු ලෙසින් ම අඩු ලකුණුවලට දවා ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වුනා. ඉනිමේ 2 වැනි පන්දුවාරයේ දී විමෝක්ෂා බාලසූරිය (1) සහ සංජනා කාවින්දි (4) තම ඉනිම් හැර යද්දී ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ ලකුණු 7ක් ලෙසයි.

අනතුරු ව දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර 3 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 29ක සබඳතාවක් එක් කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ මනුදි නානායක්කාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.

අනතුරු ව සුමුදු නිසංසලා ලකුණු 5කට දැවී ගිය අතර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැහැමි සෙනෙත්මා දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් රශ්මිකා සෙව්වන්දි ලකුණු 11ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට හසුවෙමින් කඩුල්ල අහිමි කර ගන්නවා.

අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට 7 වැනි කඩුල්ල වෙනුවෙන් හිරුණි හංසිකා සහ ශෂිනි ගිම්හානි පන්දු 21ක දී නොදැවුණ ලකුණු 36ක සබඳතාවක් එක් කරනවා. එහි දී හිරුණි හංසිකා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටි අතර ශෂිනි ගිම්හානි පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Anisa Akter Soba ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර Fahomida Choya, Nishita Akter Nishi සහ Habiba Islam කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 110ක් හඹා යන ඉනිමේ පළමු පන්දු ද්විත්වයේ දී කඩුලු 2ක් දවා ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට රශ්මිකා සෙව්වන්දි සමත් වුනා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එම තත්ත්වය දිගින් දිගට ම පවත්වාගෙන යෑමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් 3 වැනි කඩුල්ලේ දී ම ලකුණු අතරට පිවිසීමට සමත් වෙමින් තම ඉනිම ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගනවා.

එම කඩුල්ලේ දී Fahomida Choya සහ Sadia Islam එක් ව පන්දු 52ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳී යන්නේ Sadia Islam ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

එතැන් සිට Fahomida Choya සමඟ එක් වූ නායිකා Sumaiya Akter බංග්ලාදේශ ඉනිම නැවත ගොඩ ගැනීමට 4 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Fahomida Choya පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට හසුවෙමිනුයි. එය එම ඉනිමේ පිතිකාරිනියක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

එම දැවී යෑමෙන් අනතුරු ව තවත් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වූව ද 7 වැනි කඩුල්ලේ දී පන්දු 13ක දී නොදැවුණ ලකුණු 21ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට Afia Ashima සහ Jannatul Maoua සමත් වෙනවා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Afia Ashima පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා ගන්නා ලද අතර Jannatul Maoua පන්දු 5ක දී නොදැවී ලකුණු 4ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී රශ්මිකා සෙව්වන්දි ලකුණු 17කට කඩුලු 2ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 22කට කඩුලු 2ක් ද චමෝදි ප්‍රබෝධා කඩුල්ලක් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 109 (20.0) දැහැමි සෙනෙත්මා 24, මනුදි නානායක්කාර 16, හිරුණි හංසිකා නොදැවී 24, ශෂිනි ගිම්හානි නොදැවී 14, Anisa Akter Soba 2/17

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 113 (19.4) Fahomida Choya 38, Sadia Islam 24, Afia Ashima නොදැවී 26, රශ්මිකා සෙව්වන්දි 2/17, ශෂිනි ගිම්හානි 2/22

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 4 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (9) වැනිදා කොළඹ, හැව්ලොක් පෙදෙස BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<