ශ්‍රී ලංකා යෞවනීයෝ 2 වැනි ජයත් ලබයි

Bangladesh U 19 Women Tour of Sri Lanka

87
Bangladesh U 19 Women Tour of Sri Lanka

වයස අවුරුදු 19න් පහළ සංචාරක බංග්ලාදේශය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා සමඟ පැවැත්වෙන තරග 4කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගයෙන් ද පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (6) සමත් වුනා.

මෙම තරගය ද කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 60ක් පමණයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට එක් වූ කණ්ඩායම ම නම් කර තිබූ අතර බංග්ලාදේශය වෙනස්කම් 2ක් සිදු කරමින් තරගයට එක් වී තිබුණා. ඒ පෙර තරගයට එක් වූ Sumaiya Akther Suborna සහ Anisa Akter Soba වෙනුවට Juairiya Ferdous සහ Nishita Akter Nishi එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, දැහැමි සෙනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Sumaiya Akter (නායිකාව), Fahomida Choya, Juairiya Ferdous (කඩුලු රකින්නිය), Sadia Islam, Afia Ashima, Jannatul Maoua, Sadia Akter, Farjana Easmin, Habiba Islam, Lucky Khatun, Nishita Akter Nishi

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට Nishita Akter Nishi සමත් වුනා. ඒ අනුව විමෝක්ෂා බාලසූරිය (0) සහ සංජනා කාවින්දි (1) තම ඉනිම් වේලාසනින් ම අහිමි කර ගත්තා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියේ එක් වූ දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ඉනිම වැටි සිටි තත්ත්වයෙන් ගොඩ ගනිමින් 3 වැනි කඩුල්ලට පන්දු 67කින් ලකුණු 59ක සබඳතාවක් එක් කරනවා.

එම සබඳතාව බිඳී යන්නේ දැහැමි සෙනෙත්මා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

අනතුරු ව මනුදි නානායක්කාර සහ රශ්මිකා සෙව්වන්දි එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 34කින් ලකුණු 38ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තවත් ශක්තිමත් කරනවා.

එවර සබඳතාව බිඳ වැටෙන්නේ මනුදි නානායක්කාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. එය මෙම තරගාවලියේ ක්‍රීඩිකාවක ලත් පළමු අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී රශ්මිකා සෙව්වන්දි පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද සහ සුමුදු නිසංසලා පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා විසින් 5 වැනි කඩුල්ලට පන්දු 14කින් නොදැවී ලකුණු 26ක් එක් කිරීමට සමත් විම ද කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී  Nishita Akter Nishi තම පන්දුවාර 4 ලකුණු 7කට සීමා කරමින් කඩුලු 2ක් ද, Fahomida Choya සහ Afia Ashima කඩුල්ල බැගින් ද දවා ගත්තා.

බංග්ලාදේශ ඉනිමේ ආරම්භය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට චමෝදි ප්‍රබෝධා සමත් වීම කැපී පෙණුනා. ඇය විසින් යැවුණ ඉනිමේ සිව් වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශ පිතිකාරිනියක් තිදෙනෙක් දවා ගැනීමට සමත් වෙනවා. එම දැවී යෑම් ද සමඟින් ඔවුන්ගේ ඉනිමේ හරි අඩක් ඉනිම හැර යද්දී ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 24ක් ලෙසයි.

අනතුරු ව නැවතත් ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී කඩුලු ද්විත්වයක් දවා ගනිමින් බංග්ලාදේශය වැටි සිටි තත්ත්වයෙන් තවත් අමාරුවේ දැමීමට ලිමංසා තිලකරත්න සමත් වෙනවා.

ඒ අනුව අසාර්ථක වූ බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Sadia Akter. ඇය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා. ඊට අමතර ව Farjana Easmin ඉනිම අවසන් වෙද්දී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉඩ ලබා නොදුන් අතර ඔවුන්ගේ ඉනිම තවත් පන්දු 46ක් ඉතිරි ව තිබිය දී අවසන් කිරීමට ද සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වුනා.

එහි දී චමෝදි ප්‍රබෝධා ලකුණු 13කට කඩුලු 3ක් ද, අසේනි තලගුණේ ලකුණු 14කට කඩුලු 3ක් ද, ලිමංසා තිලකරත්න ලකුණු 14කට කඩුලු 2ක් ද සහ ශෂිනි ගිම්හානි කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 4ක් දැවී 125 (20.0) දැහැමි සෙනෙත්මා 25, මනුදි නානායක්කාර 50, රශ්මිකා සෙව්වන්දි නොදැවී 27, සුමුදු නිසංසලා නොදැවී 13, Nishita Akter Nishi 2/07

 

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 60 (12.2) Sadia Akter 18, Farjana Easmin නොදැවී 10, චමෝදි ප්‍රබෝධා 3/13, අසේනි තලගුණේ 3/14, ලිමංසා තිලකරත්න 2/14

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 65ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 3 වැනි විස්සයි විස්ස තරගය මේ මස 8 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<