සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය

Bangladesh U 19 Tour of Sri Lanka

5
Bangladesh U 19 Tour of Sri Lanka

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර තරග 6කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය මේ මස 26 වැනිදා සිට මාර්තු මස 8 වැනිදා දක්වා අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • අප්‍රේල් 26 – 1 වැනි යොවුන් එක්දින තරගය, CCC ක්‍රීඩාංගණයේ දී.
  • අප්‍රේල් 28 – 2 වැනි යොවුන් එක්දින තරගය, CCC ක්‍රීඩාංගණයේ දී.
  • අප්‍රේල් 30 – 3 වැනි යොවුන් එක්දින තරගය, Colts ක්‍රීඩාංගණයේ දී.
  • මාර්තු 3 – 4 වැනි යොවුන් එක්දින තරගය, CCC ක්‍රීඩාංගණයේ දී.
  • මාර්තු 5 – 5 වැනි යොවුන් එක්දින තරගය, SSC ක්‍රීඩාංගණයේ දී.
  • මාර්තු 8 – 6 වැනි යොවුන් එක්දින තරගය, Colts ක්‍රීඩාංගණයේ දී.

මීට පෙර දෙරට ක්‍රීඩකයෝ ද්විත්ව රටවල් තරගාවලියක් හා එක් වෙන්නේ 2021 වසරේදීයි. තරග 5කින් සමන්විත වූ එම තරගාවලිය 5-0කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනවා.

එදා එසේ වූවත් මෙවර බංග්ලාදේශය මෙම තරගාවලිය හා එක් වෙන්නේ පිට පිට දෙවැනි වරටත් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය හිමිකර ගත් රට ලෙසයි.

දෙරට ඉතිහාසයේ මෙම කණ්ඩායම් ද්විත්වය මිට පෙර අවසන් වරට එකිනෙකා යොවුන් එක්දින තරගයක දී හමුවෙන්නේ Dubai රාජ්‍යයේ දී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි. එම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

කෙසේ වෙතත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් තම ගමන් මඟ නිමා කර ගන්නා ලද අතර බංග්ලාදේශය තරගාවලිය අවසන් කරන්නේ ශූරයන් ලෙසයි.

ශ්‍රී ලංකාව

මෙම තරගාවලියේ පළමු තරග ද්විත්වය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර ගේ නායකත්වයෙන් 15 දෙනෙක්ගේ සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් කමිටුව මඟින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමක් අවසන් වරට විදෙස් කණ්ඩායමක් හා තරගයකට එක් වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සඳහායි.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ අවසන් පූර්ව තරගයෙන් කෙළවර වෙනවා. ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා තරගයේ දී කඩුලු 7ක පරාජයක් ලබමින් ඔවුන් එම ගමන නතර කරනවා.

එම තරගය හා එක් වූ නායක විමත් දින්සර, දුල්නිත් සිගේරා, කවිජ ගමගේ, විරාන් චමුදිත සහ කුගදාස් මාතුලන් ද මෙවර ද මෙම කණ්ඩායම හා එක් වෙනවා.

ඉදිරිපෙළ වමත් පිතිකරුවෙක් වන විමත් දින්සර නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟින් පැවැති පළමු වටයේ තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වෙන අතර ඔහු එම තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙනවා.

එම ශතකයත් සමඟින් ඔහු එම තරගාවලියේ තරග 4කට සහභාගී වෙමින් ලකුණු 156ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුට අමතර ව කවිජ ගමගේ පිතිකරුවෙක් ලෙසත් සහ විරාන් චමුදිත පන්දු යවන්නෙක් ලෙසත් එම තරගාවලියේ දී දක්ෂතා දක්වනවා.

එමෙන් ම පසුගිය දෙසැම්බර් මාසයේ මෙරට දී නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ තුන් දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ කිත්ම විදානපතිරණ ද මෙම කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු එම තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 164ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව මෙම කණ්ඩායමට නම් කළ අනෙකුත් ක්‍රීඩකයන් අතරින් දුල්නිත් සිගේරා බදුරලිය කණ්ඩායම නියෝජනය කරමින් ද චාමික හීනටිගල BRC කණ්ඩායම නියෝජනය කරමින් ද පසුගිය කාලයේ පළමු පෙළ තරග හා එක්වෙමින් තම දක්ෂතා මුදා හැරියා.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විමත් දින්සර (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය, කොළඹ), දිමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), විරාන් චමුදිත (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), කවිජ ගමගේ (කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය, කොළඹ), රමිරු පෙරේරා (රාජකීය විද්‍යාලය, කොළඹ), ආදම් හිල්මි (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), දිනුර දම්සිත් (ගුරුකුල විද්‍යාලය, කැළණිය), චාමික හීනටිගල (මහානාම විද්‍යාලය, කොළඹ), රසිත් නිම්සර (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල), කුගදාස් මාතුලන් (සාන්ත ජෝන්ස් විද්‍යාලය, යාපනය), විග්නේශ්වරන් ආකාශ් (හාට්ලි විද්‍යාලය, යාපනය), තරුෂ නවෝද්‍ය (සහිරා විද්‍යාලය, කොළඹ) සහ සනුජ නිඳුවර (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල).

බංග්ලාදේශ කණ්ඩායම

Bangladesh U 19 Tour of Sri Lanka

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙම සංචාරය හා එක් වෙන්නේ ආසන්නත ම ආසියානු ශූරයන් ලෙසයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහි ව ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙමින් එකී ශූරතාවට හිමිකම් කියනවා.

ජයග්‍රාහී එම කණ්ඩායම නියෝජනය කළ Azizul Hakim Tamim මෙරට සංචාරය කරන කණ්ඩායමේ ද නායකත්වයට නම් කර තිබෙනවා. එමෙන් ම එම කණ්ඩායම නියෝජනය කළ Zawad Abrar, Kalam Siddiki Aleen, Rizan Hossan, Debashis Sarkar Deba, Farid Hasan Faysal, Samiun Basir Ratul, Al Fahad සහ Iqbal Hasan Emon යන ක්‍රීඩකයන්ගෙන් ද මෙම කණ්ඩායම සමන්විතයි.

කණ්ඩායමට එක් වෙන ක්‍රීඩකයන් අතුරින් වඩාත් දක්ෂතා දක්වන පිතිකරු ලෙසින් හැඳින්වෙන්නේ නායක Azizul Hakim Tamim. ඔහු මෙරට පිවිසීමට පෙර ක්‍රීඩා කළ පළමු පෙළ එක්දින අවසන් තරගයේ දී ද ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. එය ඔහුගේ එම තරග කාණ්ඩයේ මංගල ශතකයයි.

ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ඉනිම 5ක දී ශතකයක් සමඟින් ලකුණු 240ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතුරින් 2 වැනියා බවට පත් වුනා.

ඔහුට අමතර ව Kalam Siddiki, උප නායක Zawad Abrar සහ Farid Hasan Faysal බංග්ලාදේශය වෙනුවෙන් දක්ෂතා දක්වන පිතිකරුවන් ලෙසින් දැක් විය හැකියි.

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් වෙන්නේ Iqbal Hasan Emon. දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා ද බවට ද පත් වෙනවා. අවසන් මහා තරගයේ වීරයා මෙන් ම තරගාවලියේ වීරයා වෙන්නේ ද ඔහුයි.

ඊට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන Al Fahad ද දක්ෂ පන්දු යවන්නෙක් ලෙසින් සැලකෙනවා. මේ දක්වා පළමු පෙළ තරග 10ක දී කඩුලු 7ක් දවාගෙන සිටින ඔහු නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී කඩුලු 12ක් දවා ගනිමින් එම තරගාවලියේ වැඩිම කඩුලු ලැබූවන් අතර 2 වැනි ස්ථානය හිමි කර ගැනීමට දක්ෂතා දක්වනවා.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Azizul Hakim Tamim (නායක), Zawad Abrar (උප නායක), Samiun Basir Ratul, Debashis Sarkar Deba, Rizan Hossan, Al Fahad, Iqbal Hasan Emon, Rafi Uzzaman Rafi, Farid Hasan Faysal, Kalam Siddiki Aleen, Sanjid Mozumder, Saad Islam Razin, Shahriar Ahmed, Md Abdullah සහ Farhan Shahriar.

අතිරේක

Rifat Beg, Yeasir Arafat, Mehrab Hasan Sisan, Farzan Ahmed Alif, and Shahriar Al Amin.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<