විග්නේශ්වරන් බංග්ලාදේශ යෞවනයන් අනාථ කරයි

Bangladesh U 19 Tour of Sri Lanka

10
Bangladesh U 19 Tour of Sri Lanka

දකුණතින් පා දඟ පන්දු යවන විග්නේශ්වරන් ආකාශ් ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සහ චාමික හීනටිගල, කවිජ ගමගේ සහ සෙනුජ වැකුණුගොඩ පිතිකරුවන් ලෙසින් දැක් වූ දක්ෂතා හමුවේ සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව ලකුණු 98ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ අද (26) සමත් වූවා.

තරග 6කින් යුත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය අද කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර එහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 143ක් පමණයි.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

විමත් දින්සර (නායක), දුල්නිත් සිගේරා, දිමන්ත මහවිතාන, සෙනුජ වැකුණගොඩ, චාමික හීනටිගල, කිත්ම විදානපතිරණ, දෙනුර දම්සිත් (කඩුලු රකින්නා), කවිජ ගමගේ,  විග්නේශ්වරන් ආකාශ්, කුගදාස් මාතුලන් සහ රසිත් නිම්සර.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Azizul Hakim Tamim (නායක), Zawad Abrar, Kalam Siddiki Aleen, Shahriar Ahmed, Md Abdullah (කඩුලු රකින්නා), Debashis Sarkar Deba, Samiun Basir Ratul, Rafi Uzzaman Rafi, Al Fahad සහ Iqbal Hasan Emon.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට වැඩි ආයුෂ රැදී තිබුණේ නැහැ. ලකුණු පුවරුව 7ක් වෙද්දී දුල්නිත් සිගේරා ලකුණු 5කට දැවී ගියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසියේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ සෙනුජ වැකුණුගොඩ. ඔහු මෙම කණ්ඩායමට එක් වෙන්නේ ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් කණ්ඩායමට එක් වූ විරාන් චමුදිත වෙනුවටයි.

ශ්‍රී ලංකා ඉනිමේ අඩක් නිමවෙන තුරු පිටියේ රැදී සිටි සෙනුජ වැකුණුගොඩ පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. එම ඉනිම අතර තුර ඔහු දිමන්ත මහවිතාන (5) සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 28ක් ද, විමිත් දින්සර (19) සමඟ එක්වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 38ක් ද සහ චාමික හීනටිගල සමඟ එක්වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 14ක් ද එක් කළා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු යශ්ටිය අතට ගන්නේ චාමික හීනටිගල සහ කවිජ ගමගේ. ඔවුන් දෙදෙනා එක් ව ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට 7 වැනි කඩුල්ල සඳහා පන්දු 121ක දී නොදැවුණ ලකුණු 127ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී චාමික හීනටිගල පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත් අතර කවිජ ගමගේ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී Rizan Hossan සහ Iqbal Hossain Emon කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර Debasish Deba සහ Al Fahad කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද මැද පෙළ පිතිකරුවෝ පෑ දුර්වල තරග විලාසයත් සමඟින් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම සතු කර ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදී ඉනිමේ තවත් පන්දු 99ක් ඉතිරි ව තිබිය දී තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවා.

සංචාරක ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල පන්දු 36කින් එක් වූ ලකුණු 29ක් වූ අතර 2 වැනි කඩුල්ලේ සබඳතාව පන්දු 65කින් එක් වූ ලකුණු 45ක් බවට පත් වුනා. ඉන් අනතුරු ව ලකුණු 15ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගනිමින් තරගය තමන් වෙත නතුකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5කට ලකුණු 90ක් ලෙසයි.

අනතුරු ව 8 වැනි සහ 9 වැනි කඩුලු ද්විත්වය ලකුණු 2ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහෙත් තරගයේ ජයග්‍රහණය මදක් පමා කරමින් අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක දී ලකුණු 18ක් එක් කිරීමට Al Fahad (නොදැවී 12) සහ Iqbal Hasan Emon (5) සමත් වුනා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Kalam Siddiki. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක Azizul Hakim පන්දු 31කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණු නොමැතිව ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී විග්නේශ්වරම් ආකාශ් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් බංග්ලාදේශයේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නා බවට පත් වුනා. ඔහු පසුගිය වසරේ මෙරට දී පැවැති වයස අවුරුදු 17න් පහළ තරගාවලියේ ද ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වූනා. ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු තරගයේ දී ම ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මෙම තරගයේ ඔහුට අමතර ව කිත්ම විදානපතිරණ සහ කූගදාස් මාතුලන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර රසිත් නිම්සර ද කඩුල්ලක් දවා ගත්තා.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 241 (50.0) සෙනුජ වැකුණුගොඩ 50, විමත් දින්සර 19, චාමික හීනටිගල නොදැවී 78, කවිජ ගමගේ නොදැවී 60, Iqbal Hossain Emon 2/46, Rizan Hossan 2/29
  • බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 143 (33.3) Kalam Siddiki 46, Azizul Hakim 24, Md Abdullah 17, කූගදාස් මාතුලන් 2/30, විගේනේශ්වරන් ආකාශ් 5/35, කිත්ම විදානපතිරණ 2/17

දෙරට අතර පැවැත්වෙන 2 වැනි යොවුන් එක්දින තරගය අප්‍රේල් මස 28 වැනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<