සුපිරි පිතිකරු Babar Azamගේ ඉවසිලිවන්ත ඉනිමත්, පන්දු යවන්නන්ගේ සටන්කාමී පන්දු යැවීමත් නිසා B-Love Kandy කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 27ක ජයක් ලබා ගැනීමට ඊයේ (31) Colombo Strikers කණ්ඩායමට හැකි වුනා.
මෙය Lanka Premiere League තරගාවලියේ තෙවැනි තරගය වූ අතර Colombo Strikers නායක නිරෝෂන් දික්වැල්ල නැවත වරක් කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ මෙම තණතිල්ල මත දී ම මීට පෙර පැවති තරග දෙකම මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජය ගැනීමත් සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව Babar Azam සහ නිරෝෂන් දික්වැල්ල ඉනිම ආරම්භ කළ අතර මුල් දිනයේ අර්ධ ශතකයක් වාර්තා කළ දික්වැල්ල ඊයේ පළමු පන්දුවාරයේ දීම ලකුණු 4කට දැවී ගියා. පැතුම් නිස්සංකගේ ඉනිම ලකුණු 15කට නිමා වුනේ තනුක දාබරේගේ විශිෂ්ට පන්දු රැකීමක් අතරේ තණතිල්ලේ භාගයක් දුර ගොස් සිටි ඔහුට නැවත තම සීමා ඉර වෙත ළඟා වීමට නොහැකි වූ නිසයි.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් Babar Azam සමඟ ලකුණු 60ක සබඳතාවයක් ගොඩ නැගීමට නුවනිඳු ප්රනාන්දුට හැකි වුනා. ඒ Colombo Strikers ඉනිම ලකුණු 93ට කඩුලු 3ක් බවට පත් කරමින්. නුවනිඳු ලකුණු 28ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟයි. අනෙක් අන්තයේ සිටි Babar Azam තම ඉනිමේ මුල් කොටසේ දී අලස ස්වරූපයක් පෙන්නුම් කළ අතර මෙය Colombo කණ්ඩායමට හානි ගෙන දෙන බවක් පෙනෙන්නට තිබුණා.
>>Photos – Colombo Strikers vs B – Love Kandy – Lanka Premier League 2023 | Match 03<<
නමුත් එකදිගට ඉනිම් 5ක් සඳහා යොදාගෙන තිබූ තණතිල්ල සෑහෙන දුරකට හානි වී තිබූ අතර තරග ජයක් වෙනුවෙන් ලකුණු 150කට වැඩි සංඛ්යාවක් ප්රමාණවත් බව තේරුම් ගෙන සිටි Babar තම සංයමය බිඳ ගත්තේ නැහැ.
ඉනිමේ අවසන් කොටසේ දී යම් ආක්‍රමණශීලී පිතිකරණ රටාවක් පෙන්නුම් කළ ඔහු පන්දු 52ක දී ලකුණු 59ක් ලබා ගනිමින් සාර්ථක ඉනිමක් අවසන් කළා. ඒ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ද සමඟයි.
මේ අනුව Colombo Strikers කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට හැකි වුනා. පන්දු යැවීමේ දී ඉසුරු උදාන කඩුලු 3ක් සහ පාකිස්තානු ජාතික Mohommed Hasnain කඩුලු 2ක් බිඳ දැමීමට සමත් වුනා. වනිඳු හසරංග මුල් පන්දුවාර 3 ලකුණු 9කට අවසන් කළ ද, සිව්වැනි පන්දුවාරයේ දී ලකුණු 13ක්ම ලබා දුන්නා.
- කොළඹ කලඹමින් Jaffna කණ්ඩායමෙන් රාජකීය ආරම්භයක්!
- සුපිරි පන්දුවාරයේ ජය ගාල්ලට
- LPL ඉතිහාසය වර්ණ ගැන් වූ ක්රීඩකයෝ
- පළමු MLC කිරුළ MI New York දිනා ගනී!
ලකුණු පුවරුව මත අඩු ලකුණු සංඛ්යාවක් පෙන්නුම් කළ ද Colombo Strikers මුල සිටම හොඳ පන්දු යැවීමක් සහ විශිෂ්ට පන්දු රැකීමක් පෙන්නුම් කළා. එහි දී දෝලනය සහිත විශිෂ්ට පන්දුවක් මගින් තනුක දාබරේව කඩුල්ල මුවා කිරීමට හසු කරගනිමින් Naseem Shah පන්දු යැවීම ආරම්භ කළා. එතකින් නොනැවතුනු ඔහු ලකුණු 15ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස්ගේ කඩුල්ලත් බිඳ දැමුවා.
පවර්ප්ලේ අවස්ථාව නිමා වීමට පෙර එක් පන්දුවාරයක් සඳහා යොදා ගැනුණු මතීෂ පතිරණ ඊයේ තම නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වුවේ වේගය අඩාල කළ පන්දුවක් මගින් දිනේෂ් චන්දිමාල්ගේ පිට ඉන්න බිඳ හෙලමින්. වේගපන්දු යවන්නන්ගෙන් ලැබුනු සුපිරි ආරම්භය අපතේ නොයැවූ ජෙෆ්රි වැන්ඩර්සේ සහ Mohommed Nawaz කඩතොළු වී තිබූ තණතිල්ල මත පන්දුව දඟ කැවීමට පටන් ගන්නේ ඉන් අනතුරුවයි.
>>HIGHLIGHTS – B-Love Kandy vs Colombo Strikers – Lanka Premier League 2023 | Match 03<<
සැබවින්ම තර්ජනාත්මක පන්දු යැවීමක යෙදුණු වැන්ඩර්සේට එහි පළමු ප්‍රතිඵලය ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට හැකි වුනා. කඩුලු අතර දුව යාමට යම් මැලිකමක් දැක්වූ මැතිව්ස් අවසානයේ විශාල පහරක් කරා උත්සාහ කරමින් ලබා දුන් උඩපන්දුව තෙවැනි උත්සාහයෙන් රැක ගත්තේ නුවනිඳු ප්‍රනාන්දුයි. ඒ ඔහුගේ අතින් ගිලිහී ගිය පන්දුව උරහිසේ වැදී නැවත අවස්ථාවක් ඔහුට උදා කළ නිසයි.
හයේ පහරක් එල්ල කර සිටි අශේන් බණ්ඩාරව ඊලඟ පන්දුවේ දී අතිවිශිෂ්ට පා දඟපන්දුවක් මගින් දවා ගැනීමට වැන්ඩර්සේ සමත් වුනා. එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් වුවද අනෙක් අන්තයේ සිටි Mohommed Nawaz ද කඩුලු රකින දික්වැල්ලට පවා ග්රහණය කර ගැනීමට අපහසු තියුණු දඟ කැවීමක් ලබා ගැනීමට ඊයේ දිනයේ සමත් වූ බව කිව යුතුයි.
මෙම භයානක දඟපන්දු සුසංයෝගය ඉදිරි දින වලදී Colombo Strikers කණ්ඩායමට තව තවත් ජයග්රහණ ගෙන දීමට ඉඩ තිබෙනවා. පිතිකරණයේ යෙදී සිටි නායක වනිඳු හසරංග ඊයේ නිරෝෂන් දික්වැල්ල රැකගත් උඩපන්දුවක් හමුවේ නිශ්ශබ්දව සිටියත්, තෙවැනි විනිසුරුගේ සහාය ලබා ගනිමින් පන්දුව පිත්තේ ගැටෙන බව තහවුරු කර ගැනීමට Colombo Strikers කණ්ඩායමට හැකි වුනා.
ඉනිමේ අවසන් කොටසේ දී පිටියට පිවිසි හිටපු පාකිස්තාන නායක Sarfaraz Ahmed පන්දු 21කින් නොදැවී ලකුණු 16ක් ලබා ගත්ත ද, එය B-Love Kandy අපේක්ෂා කළ අන්දමේ ඉනිමක් වුනේ නැහැ. ඉනිමේ අවසන් කොටසේ දී නැවත පන්දුව අතට ගත් මතීෂ පතිරණ තම සුවිශේෂීත්වය නැවත වරක් පෙන්නුම් කළේ තවත් කඩුලු 2ක් දවා ගනිමිනුයි.
පන්දුවාර 20 අවසන් වෙද්දී Kandy කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 130ක් පමණයි. මේ අනුව Colombo Strikers ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර Jaffna Kings අංක එකේ පසුවෙනවා. සුපිරි පන්දුවාරයේ දී තරගය ජය ගත් Galle Titans කණ්ඩායමට හිමිව තිබෙන්නේ තෙවැනි ස්ථානයයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | lbw b Isuru Udana | 4 | 4 | 1 | 0 | 100.00 |
Babar Azam | c Kamindu Mendis b Isuru Udana | 59 | 52 | 4 | 1 | 113.46 |
Pathum Nissanka | run out (Sarfaraz Ahmed) | 15 | 12 | 2 | 0 | 125.00 |
Nuwanidu Fernando | c Ashen Bandara b Mohammad Hasnain | 28 | 31 | 2 | 1 | 90.32 |
Dhananjaya Lakshan | c Ashen Bandara b Isuru Udana | 12 | 11 | 1 | 1 | 109.09 |
Mohammad Nawaz | b Mohammad Hasnain | 10 | 6 | 2 | 0 | 166.67 |
Chamika Karunaratne | not out | 9 | 4 | 0 | 1 | 225.00 |
Ramesh Mendis | not out | 6 | 3 | 1 | 0 | 200.00 |
Extras | 14 (b 1 , lb 0 , nb 3, w 10, pen 0) |
Total | 157/6 (20 Overs, RR: 7.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isuru Udana | 4 | 0 | 39 | 3 | 9.75 | |
Mohammad Hasnain | 4 | 0 | 27 | 2 | 6.75 | |
Mujeeb ur Rahman | 4 | 0 | 28 | 0 | 7.00 | |
Aamer Jamal | 1 | 0 | 15 | 0 | 15.00 | |
Wanindu Hasaranga | 4 | 0 | 22 | 0 | 5.50 | |
Thanuka Dabare | 2 | 0 | 14 | 0 | 7.00 | |
Kamindu Mendis | 1 | 0 | 11 | 0 | 11.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanuka Dabare | lbw b Naseem Shah | 4 | 6 | 1 | 0 | 66.67 |
Dinesh Chandimal | b Matheesha Pathirana | 10 | 11 | 2 | 0 | 90.91 |
Kamindu Mendis | b Naseem Shah | 15 | 10 | 2 | 0 | 150.00 |
Angelo Mathews | c Nuwanidu Fernando b Jeffrey Vandersay | 25 | 22 | 2 | 1 | 113.64 |
Ashen Bandara | b Jeffrey Vandersay | 12 | 14 | 0 | 1 | 85.71 |
Wanindu Hasaranga | c Niroshan Dickwella b Matheesha Pathirana | 9 | 4 | 1 | 0 | 225.00 |
Sarfaraz Ahmed | not out | 16 | 21 | 1 | 0 | 76.19 |
Aamer Jamal | b Mohammad Nawaz | 7 | 9 | 0 | 0 | 77.78 |
Isuru Udana | c Mohammad Nawaz b Matheesha Pathirana | 7 | 11 | 0 | 0 | 63.64 |
Mohammad Hasnain | not out | 7 | 12 | 1 | 0 | 58.33 |
Extras | 18 (b 4 , lb 5 , nb 0, w 9, pen 0) |
Total | 130/8 (20 Overs, RR: 6.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Naseem Shah | 4 | 0 | 19 | 2 | 4.75 | |
Chamika Karunaratne | 4 | 0 | 28 | 0 | 7.00 | |
Matheesha Pathirana | 4 | 0 | 24 | 3 | 6.00 | |
Jeffrey Vandersay | 4 | 0 | 32 | 2 | 8.00 | |
Mohammad Nawaz | 4 | 0 | 18 | 1 | 4.50 |
Lanka Premiere League තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) දිනයේ ක්රියාත්මක වන අතර Dambulla Aura සහ Jaffna Kings අතර තරගය අද සවස 3ටත්, Galle Titans සහ B-Love Kandy කණ්ඩායම් දෙක අතර තරගය අද රාත්රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. ඉන්පසු කණ්ඩායම් සියල්ල පල්ලෙකැලේ දී තරග වැදීම සඳහා කන්ද උඩරට බලා පිටත්ව යාමට නියමිතයි.
තරගාවලියේ අද පැවැත්වෙන තරග දෙක ඇතුළු සියලු තරග වල උණුසුම එලෙසින්ම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<