Warne-Murali දඟ පන්දු කුසලාන ඉතිහාසය

Australia Tour of Sri Lanka 2025

134
Australia Tour of Sri Lanka 2025

ටෙස්ට් තරග පිටියේ දඟ පන්දුවෙන් විස්මිත දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ Shane Warne නමින් නම් කෙරුණ Warne-Murali කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.

දෙරට අතර 7 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි 6න් සිව් වතාවක් ඕස්ට්‍රේලියාව විසින් ද එක් වතාවක් ශ්‍රී ලංකාව විසින් ද ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගාවලියන් නිමා වෙන්නේ ජය පරාජයෙන් තොරවයි.

Host Year Mat SL AUS Drown Result Player Of the Series
1 ඕස්ට්‍රේලියාව 2007 2 0 2 0 ඕස්ට්‍රේලියාව Brett Lee
2 ශ්‍රී ලංකාව 2011 3 0 1 2 ඕස්ට්‍රේලියාව Michael Hussey
3 ඕස්ට්‍රේලියාව 2012 3 0 3 0 ඕස්ට්‍රේලියාව Michael Clarke
4 ශ්‍රී ලංකාව 2016 3 3 0 0 ශ්‍රී ලංකාව රංගන හේරත්
5 ඕස්ට්‍රේලියාව 2019 2 0 2 0 ඕස්ට්‍රේලියාව Pat Cummins
6 ශ්‍රී ලංකාව 2022 2 1 1 0 සම ශූරයන් දිනේෂ් චන්දිමාල්

Warne-Murali තරගාවලිය වෙනුවෙන් මෙතෙක් තරග 15ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක ජයග්‍රහණ ඕස්ට්‍රේලියාව විසින් ද සහ තරග 4ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද ලබා ඇති අතර තරග 2ක් විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.

එවැනි තරග ප්‍රතිඵලයන් සහිතවයි දෙරට ක්‍රීඩකයෝ මෙවර තරගාවලියට එක් වෙන්නේ.

ජූනි මාසයේ දී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට තරග සංචාරය මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරග සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 2ක් ඇතුලත් වෙනවා.

Warne-Murali කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියට සහභාගී වීමට පෙර සහභාගී වන අවසන් ටෙස්ට් තරගාවලියයි. එබැවින් ඔවුන් මෙම තරගාවලියේ දී තමන්ගේ දක්ෂතා නැවත නැවතත් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම තරගාවලිය උපරිමයෙන් උපයෝගී කර ගැනිතැයි සිතිය හැකියි.

Warne-Murali කුසලාන තරගාවලිය

එවන් ඉතිහාසයකින් හෙඹි දෙරට ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට මෙම තරගාවලිය එක් වෙන්නේ දෙරට නියෝජනය කළ වඩාත් දක්ෂතම දඟ පන්දු යවන්නන් දෙදෙනාට උපහාරයක් වශයෙනුයි. මෙම තරගාවලියේ නිර්මාතෘවරුන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වීම ද විශේෂත්වයක්.

ලොව සුපිරිතම පා දඟ පන්දු යවන්නා ලෙසින් සැලකෙන Shane Warne ක්‍රිකට් ක්‍රීඩාවේ දී දරුණු ප්‍රතිවාදියෙක් වූව ද ඉන් බැහැර ජීවිතයේ දී සානුකම්පිත මානුශීය චරිතයක් ලෙසින් කා තුළත් ගෞරවනීය තත්ත්වයට පත් වූවෙක් ලෙසින් හැඳින්වෙනවා.

ඔහු කළ මානුශීය උපකාර තුළ 2004 වසරේ දී සුනාමියෙන් විනාශ වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත ගොඩ ගැනීමේ දී කළ මෙහෙය වඩාත් ප්‍රශංසනීයයි. එවැන්නක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට කළ ප්‍රමුඛතම ක්‍රීඩකයා වෙන්නේ Shane Warne ලෙසින් ද හැඳින්වෙනවා.

Shane Warne සහ මුත්තයියා මුරලිදරන් ගේ ටෙස්ට් තරග දක්ෂතා

Mat Inns Overs Runs Wkts BBI BBM Ave 4 5 10
මුත්තයියා මුරලිදරන් 133 230 7339.5 18180 800 9/51 16/220 22.72 45 67 22
Shane Warne 145 273 6784.1 17995 708 8/71 12/128 25.41 48 37 10

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් දක්ෂතම පන්දු යවන්නා ලෙසින් හැඳින්වෙන දකුණතින් පිටතින් දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් කඩුලු 800ක් ලබා ගත් ලොව එක ම ක්‍රීඩකයා ලෙසින් ද හැඳින්වෙනවා.

ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙය වෙනුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකයන් ගත් මේ අනුපමේය උපකාරය වඩාත් ප්‍රශංසනීයයි.

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග ඉතිහාසය

Warne-Murali කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලි 8ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට ලැබී ඇත්තේ 1999 වසරේ දී පමණයි. ඉතිරි තරගාවලි 7 දී ම ජයග්‍රහණය හිමි වෙන්නේ ඕස්ට්‍රේලියාවටයි.

සත්කාරකත්වය තරග තරගාවලියේ ජයග්‍රහණය වසර
1 ශ්‍රී ලංකාව 1 ඕස්ට්‍රේලියාවට තරග 1-0ක ජයක්. 1983
2 ඕස්ට්‍රේලියාව 1 ඕස්ට්‍රේලියාවට තරග 1-0ක ජයක්. 1988
3 ඕස්ට්‍රේලියාව 2 ඕස්ට්‍රේලියාවට තරග 1-0ක ජයක්. 1989
4 ශ්‍රී ලංකාව 3 ඕස්ට්‍රේලියාවට තරග 1-0ක ජයක්. 1992
5 ඕස්ට්‍රේලියාව 3 ඕස්ට්‍රේලියාවට තරග 3-0ක ජයක්. 1995/96
6 ශ්‍රී ලංකාව 3 ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. 1999
7 ශ්‍රී ලංකාව 3 ඕස්ට්‍රේලියාවට තරග 3-0ක ජයක්. 2004
8 ඕස්ට්‍රේලියාව 2 ඕස්ට්‍රේලියාවට තරග 1-0ක ජයක්. 2004

දෙරට ක්‍රීඩකයෝ Warne-Murali කුසලාන තරගාවලියත් සමඟින් මෙතෙක්  ටෙස්ට් තරග 33කට සහභාගී වී ඇති අතර ඉන් තරග 20ක ජයග්‍රහණ ඕස්ට්‍රේලියාව විසින් ද තරග 5ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව විසින් ද සහ තරග 8ක් විසඳුමකින් තොරව ද අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

617/5 (74.0) : දෙරට ඉතිහාසයේ ඉනිමක දී කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණ සංඛ්‍යාව ඕස්ට්‍රේලියාව විසින් ලබා ගන්නා ලද අතර මෙය වාර්තා වෙන්නේ 1995 වසරේදීයි.

554/10 (181.0) : 2022 වසරේ දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

120/10 (42.2) : ඕස්ට්‍රේලියා කණ්ඩායම 2004 වසරේ දී මෙරට දී දැවී ගිය මෙම ඉනිම දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

97/10 (41.5) : 2004 වසරේ දී Darwin හි දී ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ඉනිම දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.

1447 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2004 වසරේ දී එරට Cairns ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමක සහ ලකුණු 201; දෙරට ඉතිහාසයේ වැඩිම පරතරයකින් යුත් තරගයක් ජයග්‍රහණය කරන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම විසිනුයි. එම තරගය 2013 වසරේ දී Melbourne හි දී පැවැතියා.

219: ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දකුණතින් පන්දුවට පහර දුන් Michael Slater 1995 වසරේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ පිතිකරුවෙක් එක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

206 : දිනේෂ් චන්දිමාල් විසින් 2022 වසරේ දී ගාල්ලේ දී වාර්තා කරන ලද මෙම ඉනිම දෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

7/39 (17.4) : ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන Michael Kasprowicz විසින් 2024 වසරේ දී Darwin හි දී වාර්තා කරන ලද මෙම දක්ෂතාව දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් ලෙසින් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාවයි.

7/64 (18.1) : ශ්‍රී ලංකාවේ රංගන හේරත් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පෑ මෙම දක්ෂතාව දෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.

308 : 2019 වසරේ දී Canberra හි දී ඕස්ට්‍රේලියාවේ Joe Burns සහ Travis Head විසින් සිව් වැනි කඩුල්ලට වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය

ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, මිලාන් රත්නායක.

ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් සංචිතය

Steven Smith (නායක), Sean Abbott, Scott Boland, Alex Carey, Cooper Connolly, Travis Head, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Matt Kuhnemann, Marnus Labuschagne, Nathan Lyon, Nathan McSweeney, Todd Murphy, Mitchell Starc, Beau Webster.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<