ඕස්ට්‍රේලියාව තරගයේ ආධිපත්‍යය සියතට ගනී

Australia Tour Of Sri Lanka 2025

42
Australia Tour Of Sri Lanka

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (30) ක්‍රියාත්මක වුනා.

ඊයේ දිනය තුළ තරගයේ සම්පූර්ණ ආධිපත්‍යය තමන් වෙත නතු කර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා තරමක් අසීරු තත්වයකට පත් වී සිටියා.

තරගයේ පළමු දිනය නිමා වන විට ඕස්ට්‍රේලියාව විසින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 330ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඒ වන විට ශතක ලබමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක Steven Smith ඊයේ දිනයේ ලකුණු 141ක් ලබමින් ඉනිම නිමා කළා.

කෙසේ වෙතත් Smithගෙන් පසුව කඩුල්ලට පිවිසි තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන Josh Inglis විසින් Usman Khawaja සමඟ කඩුල්ලේ එක් වී ලකුණු 146ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී ඔහු සිය මංගල ටෙස්ට් ශතකය ද වාර්තා කිරීමට සමත් වුනා.

Inglis පන්දු 94ක් පමණක් වැය කරමින් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වූ අතර, අනෙක් පසින් පිතිකරණයේ යෙදුණු Khawaja විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 232ක් වාර්තා කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අනුව ඕස්ට්‍රේලියාව විසින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 654ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුනා.

මෙහි දී දැවී ගිය ඕස්ට්‍රේලියානු කඩුලු 6 ම ප්‍රභාත් ජයසූරිය සහ ජෙෆ්‍රි වැන්ඩසේ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිම ආරම්භ කිරීමට ඕෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා ම ලකුණු 07 බැගින් ලබමින් පිටියෙන් ඉවත් වී ගිය අතර, පසුව පිටියට පිවිසුණු ඇන්ජලෝ මැතිව්ස් ද ලකුණු 07ක් ලබමින් පිටියෙන් ඉවත්ව ගියා.

කෙසේ වෙතත් පසුව කඩුල්ලේ එක් වූ දිනේෂ් චන්දිමාල් (ලකුණු 09*) සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 13*) දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ අතර, තරගයේ තෙවැනි දිනය අද (31) ක්‍රියාත්මක වනු ඇති.

මේ වන විට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 610ක් ඉදිරියෙන් පසු වනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<