නිමා වූ ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී තමන් හැසිරුණු ආකාරය පිළිබඳව කනගාටු වන බවත්, ඒ පිළිබඳව ඉන්දීය කණ්ඩායමෙන් සමාව ඉල්ලා සිටින බවත් ඕස්ට්‍රේලියා ටෙස්ට් නායක Tim Paine පවසා තිබේ.
තරගාවලියේ තුන්වැනි තරගය පසුගිය 07 වැනිදා ආරම්භ වූයේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ය. තරගයේ පස්වැනි දිනය වූ පසුගිය 11 වැනිදා තම සිව්වැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් අමතා ඕස්ට්‍රේලියා නායක Tim Paine යම් අසභ්‍ය ප්‍රකාශ කීපයක් සිදු කරන ආකාරය මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණි. ඔහු එලෙස ප්‍රකාශ කර තිබුණේ ඉන්දීය ක්‍රීඩක Ravichandran Ashwin ඉලක්ක කරගනිමිනි.
“තරගය ඉවර වුනාට පස්සේ මම කල්පනා කලා මම කරපු දේ ගැන. ඊට පස්සේ තමයි මම හිතුවේ ඒ දේවල් ගැන මම සමාව ගන්න ඕනේ කියලා. මගේ හැසිරීම ගැන මම සමාව ඉල්ලනවා. මම මගේ නායකත්වය ගැන හැමවෙලේම ආඩම්බර වෙන කෙනෙක්. ඒත් මම ඊයේ කටයුතු කළ ආකාරය ගැන මට සතුටු වෙන්න බැහැ.”
“මගේ නායකත්වය ඊයේ හොඳ මට්ටමක තිබුණේ නැහැ. තරගය තුල තිබුණ පීඩනය නිසා මට මාව පාලනය කරගන්න බැරි වුනා. ඒක මගේ පන්දු රැකීමටත් බලපෑවා.”
“මම සෙල්ලම් කරන ක්‍රීඩාව ආසාවෙන් ක්‍රීඩා කරන්න කැමති ක්‍රීඩකයෙක්. නායකයෙක් විදිහට මම හිනාවෙලා ක්‍රීඩා කරන්න කැමති කෙනෙක්. ඒත් ඊයේ තරගයේ පීඩනය එක්ක ඒ දේවල් වෙනස් වුනා. මමත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මම කරපු වැරැද්ද වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.”
කඩුල්ලේ රඳවා ඇති මයික්‍රෆෝනය ක්‍රීඩකයන්ගේ පෞද්ගලිකත්වයට බාධාවක් දැයි මාධ්‍යවේදීන් එහි දී ඕස්ට්‍රේලියා නායකයාගෙන් විමසා තිබුණි. එහි දී ඔහු පවසා සිටියේ මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම තම වැරැද්ද බවත්, එහි දී බාහිර සාධකවල බලපෑම පිළිබඳව කතා නොකළ යුතු බවත්ය.
තවත් ක්‍රිකට් පුවත්:
- පාසල් ක්‍රිකට් නැවත ආරම්භය ගැන ඉඟියක්!
- ධනංජය ලක්ෂාන්ට T10 ඉල්ලමක්
- ශ්‍රී ලංකා – එංගලන්ත සටනට විස්තර විචාරකයින් නම් කරයි
- නිරෝධායන නීති නිසා ඉන්දියාව බ්‍රිස්බෙන් යන්න බෑ කියයි!
- වර්ගවාදී ප්‍රකාශ ගැන සංගාගේ අප්‍රසාදය
තරගය තුල ඕස්ට්‍රේලියා නායක Tim Paine කඩුලු රකින ක්‍රීඩකයා ලෙස උඩ පන්දු තුනක් රැකගැනීමට අසමත් වූ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි වීමට එය සෘජුවම බලපෑම් කළේය. තරගය තුල තමාට එල්ල වූ පීඩනය නිසි ලෙස දරාගැනීමට තමන්ට නොහැකි වීම එයට හේතුව බව Tim Paine තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.
“ඊයේ මගේ හැසිරීම වගේම තරගය තුල මගේ පන්දු රැකීමත් පහත් මට්ටමක තිබුණේ. පසුගිය මාස 6 තුල මම හොඳින් ක්‍රීඩා කළා. ඒත් මේ තරගයේ අවසන් දිනය ගැන මට සතුටු වෙන්න බැහැ.”
ඉන්දීය ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හැසිරීම ඉතාමත් පහත් මට්ටමක තිබූ අතර ඕස්ට්‍රේලියා නායකයා විනිසුරු තීරණයක් පිළිබඳව තරගයේ විනිසුරුවරුන් සමඟින් බහින්බස්වීම නිසා ඔහුට 15%ක දඩයක් නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර තිබුණි.
තවද තරගය අතරතුර ඕස්ට්‍රේලියා පිතිකරු Steve Smith හැසිරුණු ආකාරය පිළිබඳව බොහෝ දෙනා විවේචන එල්ල කර තිබුණි. ඒ තරගයේ පන්දුවාර අතරතුර Steve Smith තණතීරුව තුල ඇවිදයමින් පිතිකරණය පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පැතිර යාමත් සමඟිනි.
Tried all tricks including Steve Smith trying to remove Pant’s batting guard marks from the crease. Par kuch kaam na aaya. Khaaya peeya kuch nahi, glass toda barana.
But I am so so proud of the effort of the Indian team today. Seena chonda ho gaya yaar. pic.twitter.com/IfttxRXHeM— Virender Sehwag (@virendersehwag) January 11, 2021
එහි දී Steve Smith විසින් ඉන්දීය පිතිකරුවන් තණතීරුව තුල සලකුණු කර තිබූ කඩුලු ඉරි (Marked Guards) මකා දැමීමට ක්‍රියා කරන ආකාරය පැහැදිලිව දැක්වේ. ඒ පිළිබඳව ද Tim Paine මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වා තිබුණි.
“මම ඒ ගැන Steve එක්ක කතා කළා. ඕනැම තරගයක් තුල ඔහුගේ හැසිරීම බැලුවොත් ඒක ඔහුගේ සාමාන්‍ය හැසිරීමක්. ඔහු පන්දු රකින වෙලාවල් වල හැමවෙලේම පන්දුවට පහර දෙන්න පුහුණු වෙනවා. ඔහු හැමවෙලේම තණතීරුවට ඇවිල්ලා Shadow batting කරනවා. හැමවෙලේම ඔහු crease සලකුණු කරනවා.”
“මම විශ්වාස කරනවා ඔහු කිසිම ආකාරයකින් හිතාමතා guard වෙනස් කළේ නැහැ කියලා. මම ඔහු සමඟින් ක්‍රීඩා කළ හැම තරගයක දී ම මම ඒක දැකලා තියනවා. මේ සිදුවීම ගැන ඔහු ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. ඔහුගේ shadow batting අපි ඕනේ තරම් දැකලා තියනවා. අපි ඒ ගැන ඔහුට විහිළු කරලත් තියනවා. ඕනෙම කෙනෙක්ට පරණ තරග බලන්න පුළුවන්. ඔහු ඒක හැම තරගයක දී ම කරන දෙයක්.”
මෙම ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය ක්‍රීඩකයන් කීපදෙනෙකු ඉලක්ක කරගෙන වර්ගවාදී ප්‍රකාශ කීපයක් සිදුකර තිබූ ආකාරය ද මාධ්‍ය වාර්තා කළ අතර බොහෝ දෙනා ඒ පිළිබඳව සිය අප්‍රසාදය පලකර තිබුණි.
ඉන්දීය ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තරග තුනක් අවසානයේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවන අතර සිව්වැනි සහ අවසන් තරගය එළඹෙන 15 වැනිදා බ්‍රිස්බෙන් හිදී පැවැත්වීමට නියමිතව ඇත.
Cricbuzz ඇසුරිනි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<