චමීර සහ චනුල් තියුණු තරගයකින් පසුව පරදියි

90
Chameera Ginige and Chanul Dulsen

කසකස්තානයේ පැවැත්වෙන 27 වැනි ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ චමීර ගිනිගේ සහ චනුල් දුල්සෙන් තරගාවලියේ පළමු දිනයේ දී ම තරගකාරී දක්ෂතා අතරට පිවිසියා.

ඔවුන් දෙදෙනා ම මෙම දක්ෂතා දැක් වූයේ සෞදි අරාබි කණ්ඩායමට එරෙහිවයි. එහි දී නායක චමීර ගිනිගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා සමඟින් තරග වට 5ක් දක්වා  ද සහ චනුල් දුල්සෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයා සමඟින් තරග වට 4ක් දක්වා ද තරග දීර්ඝ කිරීමට සමත් වුනා. නමුත් ඔවුන්ට එම තරග ජයග්‍රහණය කිරීමට තරම් හැකියාවක් ලැබුණේ නැහැ.

තරගාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ තෙවැනි තරගය ලෙසින් පැවැතියේ සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර තරගයයි. එම තරගයේ දී පළමුවෙන් ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් වූ ඉමන්ත උදන්ජය ප්‍රතිවාදී Alkhadrawi Ali වෙතින් තරගවට 3-0ක පරාජයකට මුහුණ දෙනවා. ලකුණු පුවරුව කියැවුණේ 11-3ක්, 11-7ක් සහ 11-4ක් ලෙසයි.

අනතුරු ව තරගයට එක් වූයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක චමීර ගිනිගේ. ඔහුගේ ප්‍රතිවාදීයා වූයේ Al-Jadai Naif. ඔහුත් සමඟ තරගයේ දී සුබවාදී ආරම්භයක් ලබා ගැනීමට චමීර සමත් වුනා. එම වටය අවසන් වෙන්නේ 11-5ක් ලෙසින් චමීර ඉදිරියෙන් සිටිමින්.

නමුත් 2 වැනි සහ 3 වැනි වටයන් හි දී අනපේක්ෂිත පසු බැසීමකට චමීරට සිදු වෙනවා. එම වටයන් හී ලකුණු පුවරුව කියැවුණේ 2-11ක් සහ 1-11ක් ලෙසයි. මෙම පසු බැසීම සිව් වැනි වටයේ දී සහමුලින් ම වෙනස් කිරීමට නැවත චමීරට හැකි වෙනවා. ඒ අනුව එම වටය 11-9ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට චමීර සමත් වෙනවා.

ඒ හේතුවෙන් තරගය 5 වැනි වටය දක්වා ඇදී ගිය අතර එම වටයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයා ලකුණු 11-5ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. තරගය නිමා වෙන්නේ චමීර ට තරග වට 2-3ක පරාජයකට මුහුණ දෙන්නට සිදු වෙමින්.

අනතුරු ව තරගයට එක් වූ චනුල් දුල්සෙන් ද ප්‍රතිවාදී Alim Azzam සමඟින් තියුණු තරගයකට එක් වෙනවා. ඔහු පළමු වටයේ දී 11-8ක් ලෙසින් පරාජයට පත් වූව ද දෙවැනි වටයේ දී තියුණු තරගයකින් අනතුරු ව 12-10ක් ලෙසින් ප්‍රතිවාදීයා පරාජයට පත් කිරීමට සමත් වෙනවා.

නමුත් තෙවැනි වටයේ දී ඔහු තරගය නිමා කරන්නේ 11-1ක් ලෙසින් පරාජයට පත් වෙමිනුයි. මෙම ප්‍රතිඵලයත් සමඟ තරගය සිව් වැනි වටය දක්වා ඇදී ගිය අතර එම වටයේ දී ද ඔහු ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට සමත් වෙන්නේ නැහැ. එම වටය අවසන් වෙන්නේ 11-9ක් ලෙසින් ප්‍රතිවාදියාට ජයග්‍රහණය හිමි වෙමින් තරග වට 3-1ක පරාජයකට චනුල් ට මුහුණ දීමට සිදු වෙමිනුයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය වූයේ පිරිමි කණ්ඩායම් ඉසව්වයි. 6 වැනි කාණ්ඩයේ 1 වැනි තරගය ලෙසින් එය පැවැත්වීමට නියමිතව තිබූණේ ජෝර්දාන කණ්ඩායම සමඟයි. නමුත් එම තරගයට ප්‍රතිවාදීන් සහභාගී නොවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිතරග ජයග්‍රහණයක් හිමි වූවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 3 වැනි කාණ්ඩයේන් පිටියට පිවිසෙමින් තරගාවලියේ පළමු දිනයේ දී කාන්තා කණ්ඩායම් ඉසව්වේ තරග 3කට සහභාගී වූවා. ඉන් ඔවුන්ගේ පළමු ප්‍රතිවාදීන් වූයේ පිලිපීනයි. එම තරගයේ දී ශ්‍රී ලංකාව 3-0කින් ඔවුන් වෙතින් පරාජයට පත් වෙනවා.

එහි දී මනීෂා ශලින්දි ප්‍රතිවාදී පිලිපීන ක්‍රීඩිකා Cruz Kheith වෙතින් 11-2ක්, 11-1ක් සහ 11-5ක් ලෙසින් තරග වට 3-0ක පරාජයක් ද, ලෙසන්‍යා සෙතුම්දි ප්‍රතිවාදී Laude Angelou Joyce වෙතින් 11-7ක්, 11-7ක් සහ 11-3ක් ලෙසින් තරග වට 3-0ක පරාජයක් ද සහ ශමල්ෂා දෙව්මි පෙරේරා ප්‍රතිවාදී Fadol Rose Jean වෙතින් 11-4ක්, 11-4ක් සහ 12-10ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට ද මුහුණ දීමට සිදුවෙනවා.

එම තරගයෙන් අනතුරු ව කාන්තා කණ්ඩායම් ඉසව්වේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ජෝර්දාන කණ්ඩායමයි. පිරිමි කණ්ඩායම සේ ම ඔවුන් ද තරගයට සහභාගී නොවීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නිතරග ජයග්‍රහණයක් හිමි වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 3 වැනි ප්‍රතිවාදීන් වන්නේ ඉරාන කණ්ඩායමයි. එම තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 3-0ක පරාජයකට මුහුණ දෙනවා. එහි දී ශමල්ෂා දෙව්මි පෙරේරා ප්‍රතිවාදී Safaei Shima වෙතින් 13-11ක්, 11-7ක් සහ 11-5ක් ලෙසින් තරග වට 3-0ක පරාජයක් ද, ලෙසන්‍යා සෙතුම්දි Hajilou Parinaz වෙතින් 11-6ක්, 14-12ක් සහ 11-4ක් ලෙසින් තරග වට 3-0ක පරාජයකට ද සහ මනීෂා ශලින්දි ප්‍රතිවාදී Yariseraji Fatemeh වෙතින් 11-4ක්, 11-4ක් සහ 13-11ක් ලෙසින් තරග වට 3-0ක් ලෙසින් ද පරාජයට පත් වෙනවා.

තරගාවලියේ අද (8) ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග

  • පිරිමි කණ්ඩායම් ඉසව්ව – කොරියාව සමඟ
  • කාන්තා කණ්ඩායම් ඉසව්ව – මාලදිවයින සමඟ

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<