ආසියානු ජය සොයන මේස පන්දු කණ්ඩායම් කසකස්තානයේ

220
Asian Table Tennis Championships

2025 වසරේ දී පැවැත්වෙන මේස පන්දු ලෝක ශූරතාවලියට ආසියානු කලාපය නියෝජනය කරන්නන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ආසියානු කුසලාන මේස පන්දු ශූරතාවලිය අද (07) සිට මේ මස 13 වැනිදා දක්වා කසකස්තානයේ Beeline Arena හි Daulet ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

27 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 24ක පිරිමි කණ්ඩායම් ද සහ රටවල් 20ක කාන්තා කණ්ඩායම් ද සහභාගී වීමට නියමිතයි. තරගාවලිය කාන්තා සහ පිරිමි ඒකල, කාන්තා යුගල, පිරිමි යුගල, මිශ්‍ර යුගල සහ පිරිමි සහ කාන්තා කණ්ඩායම් යන ඉසව්වලින් සමන්විතයි.

මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පසුගියදා මෙරටින් පිටත් ව ගියා. පිරිමි කණ්ඩායමේ නායකත්වය චමීර ගිනිගේ විසින් ද සහ කාන්තා කණ්ඩායමේ නායකත්වය ලෙසන්‍යා සෙතුම්දී විසින් ද දරනු ලබන අතර කණ්ඩායමේ කළමණාකාරිනිය සහ කාන්තා භාර නිලධාරීනිය ලෙසින් සඳුනි හිරෝෂිමා කවිතිලක මහත්මිය ද කණ්ඩායම සමඟින් එක් ව සිටිනවා.

තරගාවලිය ජාත්‍යන්තර මේසපන්දු සංගමයේ සහ ආසියානු මේස පන්දු සංගමයේ අධීක්ෂකත්වයෙන් යුක්ත ව කසකස්තාන මේස පන්දු සංගමය සංවිධානය කරයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම

චමීර ගිනිගේ (නායක)

Chameera

2018 සහ 2022 ජාතික මේසපන්දු ශූරයා ලෙසින් අභිශේක ලත් චමීර ගිනිගේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මේස පන්දු පිටියට පිවිසි අතර මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මේස පන්දු පිටියේ දක්ෂතා දක්වයි.

2016 සහ 2019 වසරවල පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2015, 2016, 2019 සහ 2021 යන වසරවල දී ලෝක ශූරතාවලිය, ආසියානු ශූරතාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලියන් නියෝජනය කර ඇති දක්ෂ ක්‍රීඩකයෙක්.

ඉමන්ත උදන්ජය

Imantha

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මේස පන්දු ක්‍රීඩා පිටියට පිවිසි ඉමන්ත උදන්ජය මේ වන විට ඔහුගේ දක්ෂතා මුදා හරින්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටයි. 2023 වසරේ දී ජාතික ක්‍රීඩා උළෙලේ දකුණු පළාත් කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කිරීමට ඉමන්ත උදන්ජය සමත් වෙනවා.

2021 වසරේ දී Doha Qatar හී පැවැති ආසියානු මේස පන්දු ශූරතාවලිය නියොජනය කළ ඔහු 2019 වසරේ දී චීනයේ පැවැති ලෝක යුද හමුදා ක්‍රීඩා උළෙලේ දී සිව් වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.

චනුල් දුල්සෙන්

Chanul

මේ වෙද්දී Old Sokains මේස පන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන චනුල් දුල්සෙන් ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මේස පන්දු පිටියට දායාද වූ ක්‍රීඩකයෙක්.

2018 සහ 2022 වසරවල දී ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියන් සඳහා සහභාගී වී ඇති ඔහු එම වසර ද්විත්වයේ දී ම දකුණු ආසියානු කනිෂ්ට මේස පන්දු ශූරතාවලියන් හි දී රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.

ජනිත් බටුගෙදර

janith

කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන ජනිත් බටුගෙදර 2021 සහ 2023 වසර ද්විත්වයේ ජාතික කනිශ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ ශූරයායි.

2023 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියා යොවුන් මේස පන්දු ශූරතාවලියේ දී වයස අවුරුදු 15න් පහළ මෙරට කණ්ඩායම නියෝජනය කළ ජනිත් බටුගෙදර එහි දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගන්නා ලද අතර මේ වසරේ දී පැවැති දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේ දී වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම සහ යුගල ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ද සමත් වෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

ලෙසන්‍යා සෙතුම්දී (නායිකාව)

lesanya

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරන ලෙසන්‍යා සෙතුම්දී 2023 සහ 2024 වසර ද්විත්වයේ ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. ඇය 2022, 2023 සහ 2024 වසරවල දී දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියන්ට සහභාගී වෙමින් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ඇති  දක්ෂ ක්‍රීඩිකාවක්.

මනීශා ශලින්දි

manisha

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරන මනිශා ශලින්දි 2023 වසරේ දී ලෝක මේස පන්දු තරගාවලියේ දී ආසියානු මහද්වීපික අදියරේ තරගාවලිය මෙන් ම එම වසරේ දී ම ආසියානු මේස පන්දු ශූරතාවලිය නියෝජනය කළ දක්ෂ නැගී එන ක්‍රීඩිකාවක්.

 ශමල්ෂා දෙව්මි පෙරේරා

shamalsha

ගම්පහ සිරි කුරුස විද්‍යාලය නියෝජනය කරන ශමල්ෂා දෙව්මි පෙරේරා නිමා වූ 2023 වසරේ පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ඇති ක්‍රීඩිකාවක්.

ඊට අමතර ව ඇය 2023 වසරේ දී ම ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලිය නියෝජනය කිරීමට ද සමත් වෙනවා.

මේකලා ප්‍රනාන්දු

Menkala

කොළඹ එලිසබෙත් ජාත්‍යන්තර පාසල නියෝජනය කරන මේකලා ප්‍රනාන්දු මේ වසරේ දී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු ශූරතාවලියේ දී වයස අවුරුදු 15න් පහළ ඉසව්වේ දී රිදී පදක්කම්ලාභිනියක්. එමෙන් ම ඇය මෙම වසරේ දී ම චීනයේ පැවැති ආසියානු මේස පන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වෙනවා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වයට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<