ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් සිව්වැනි තැනට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය 2022

390

රග්බි තහනම නිසා ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අහිමි වීමෙන් පසුව දෙවැනි අදියර සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම මෙම අදියර සිව්වැන්නා ලෙස අවසන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කාන්තා කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වූ අතර ඔවුන් එය අවසන් කළේ Plate අනුශූරයින් ලෙසයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදි ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික කණ්ඩායම ආරම්භක තරගයේ දී ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ පරාජය ලැබුවත් චීනය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් පරදවමින් කාණ්ඩයේ දෙවැන්නා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව තරගයේ දී සත්කාරක දකුණු කොරියාව මුණ ගැසුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගයේ පළමු උත්සාහක දිනුම් ද්විත්වය වාර්තා කිරීමට සමත් වූවත්, දෙවැනි අර්ධයේ දී සිදු වූ පසුබෑම නිසා ඔවුන්ට තරගය ලකුණු 31-14ක් ලෙස පරාජයට පත් වීමට සිදු වුනා.

එම තරගයෙන් පසුව පැවති තෙවැනි සහ සිව්වැනි ස්ථාන සඳහා වූ තරගයේ දී  ශ්‍රී ලංකා පිලිපීනය සමඟ තරග වැදුණා.

පිලිපීනයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුමක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූවත්, පසුව ක්‍රියාත්මක වූ පිලිපීන ක්‍රීඩකයින් වාර්තා කළ උත්සාහක දිනුම් නිසා තරගයේ ජයග්‍රහණය පිලිපීනයට හිමි වුනේ ලකුණු 24 -07ක් ලෙසයි.

පිරිමි කුසලානය සඳහා වූ අවසන් තරගයේ දී තියුණු සටනකින් පසුව සත්කාරක දකුණු කොරියාව ලකුණු 12-19ක් ලෙස පරදවමින් දෙවැනි අදියරේ ශූරයින් වීමට හොංකොං ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඔවුන්ට මෙවර සත් සාමාජික ශූරයින් වීමට අවසන් අදියරේ දී පළමු කණ්ඩායම් හතර අතර සිටීම පමණක් ප්‍රමාණවත්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තරගාවලියේ මූලික වටයේ දී චීනය, හොංකොං සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ සියලුම තරග පරාජයට පත් වුනා. එම තරග සියල්ලේම ඔවුන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරග අවසන් වුනේ 55-00ක්, 47–00ක් සහ 46-00ක් ලෙසයි.

තරගාවලියේ Plate අවසන් පූර්ව වටයේ දී ඔවුන් මැලේසියා ක්‍රීඩිකාවන් සමඟ තරග වැදුණු අතර එම තරගයෙන් ලකුණු 17-14ක තියුණු ජයග්‍රහණයක් ලබමින් Plate අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල හොංකොං ක්‍රීඩිකාවන් හමුවේ පරාජය ලැබූ අතර එම තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 47-07ක් ලෙසයි.

දෙවැනි අදියරේ කාන්තා කුසලාන අවසන් තරගයේ දී චීනය ලකුණු 19-14ක් ලෙස පරදවා ජයග්‍රහණය ලැබුවේ ජපානයයි.

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර මෙම මස 26 සහ 27 දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<