“ආසියානු කුසලානය ජුනි මාසයේ දී”- ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති

554
Asia Cup 2021 to be held in Sri Lanka

2021 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති Jay Shah මහතා තමන් වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටිනවා. එසේම ඉදිරියේ දී පැවැත්වෙන LPL තරගාවලිය සහ T10 ක්‍රිකට් තරගාවලියක් ගැනත් ඔහු එහි දී සිය අදහස් දක්වා සිටියා.

තවදුරටත් පැතිරෙමින් පවතින නව කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය’ අත්හැර දැමීමට එහි විධායක කමිටුව පසුගිය දා තීරණය කළා. එසේම එළඹෙන 2021 වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ද එහි දී තීරණය වී තිබීම සුවිශේෂී වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය (2020) සැප්තැම්බර් මාසයේ දී මෙම ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් ඉන්දියාව, පාකිස්තානයට නොපැමිණෙනු ඇත. 

ඒ නිසාවෙන් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එම ඇරයුම පිළිගත් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එම සත්කාරකත්වය සඳහා සූදානම් බව පවසා සිටියා.

කෙසේ නමුත් 2021 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම ස්ථිර බවත්, ඒ සඳහා ඉන්දියාව සහභාගී වන බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති තමන් වෙත පැවසූ බව ද සිල්වා මහතා මෙහි දී පවසා සිටියා.

“LPL තරගාවලියේ දෙවැනි අදියර අගොස්තුවේ දී ගහනවා, T10 එකක් ගහනවා දෙසැම්බර්වල, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්න ජුනිවල බලාපොරොත්තු වෙනවා. ඒ තරගාවලියට ඉන්දියාවත් එනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිතුමා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පළ කළා” යැයි ශම්මි සිල්වා මහතා දිනමිණ පුවත්පත වෙත පවසා තිබෙනවා.

2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු වූ නමුත් 2021 සහ 2022 වසර සඳහා එහි සත්කාරකත්වයන් පිළිවෙළින් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට හිමිව තිබෙනවා.

2008 වසරෙන් පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට පාකිස්තානයට අවස්ථාව උදා වී නොමැති අතර 2016 වසරේ දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වරට විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ ක්‍රීඩා කළා. 2018 වසරේ දී එක්දින ක්‍රිකට් තරග ආකෘතියට එම තරගාවලිය පැවැත්වුනා.

ඊට අමතරව 2022 වසරේ චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩා තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා තිබෙන සූදානම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගන්නා ආකාරය පිළිබඳව ද පසුගිය දා පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල හමුවේ දී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

1984 වසරේ සිට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 1986, 1997, 2004 සහ 2010 යන වසරවල දී පැවති තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දී ඇති අතර ඒ සත්කාරකත්වය ලබා දුන් අවස්ථා හතරෙන් තුනක දීම ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<