ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් පරාජය වීමෙන් පසු තමන් නිකුත් කළ Twitter සටහන අවසන් තරගය සම්බන්ධ සියලු අතීතය වසා දැමීම වෙනුවෙන් දැමූ එකක් බව Ravichandran Ashwin විසින් පවසනවා.
ඉන්දීය ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස සැලකෙන Ravichandran Ashwin නිමා වූ ටෙස්ට් ලෝක ශූරතාවලියට අදාළ කාලය තුළ (2021-23) ඉන්දියාව වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වෙමින් කඩුලු 61ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියාව සමඟ අවසන් තරගය පැවැත්වෙන කාලය වන විට ලෝක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී අංක එක ස්ථානයේ රැඳී සිටීමට ද සමත් වුනා.
එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් සමස්ත ටෙස්ට් කඩුලු 474ක් බිඳ හෙළීමට සමත් වී ඇති Ashwin විසින් පිතිකරුවෙකු ලෙස ද සැලකිය යුතු සාර්ථකත්වයක් උපයා ගැනීමට සමත් වී ඇත්තේ ටෙස්ට් ශතක පහක් රැස් කර ගනිමිනුයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු අවසන් තරගයේ දී ඉන්දීය නායක Rohit Sharmaට හෝ පුහුණුකරු Rahul Dravidහට Ashwinගේ මේ කිසිදු දක්ෂතාවක් ප්‍රමාණවත් නොවූ අතර, ඔවුන් ඒ වෙනුවට අමතර වේගපන්දු යවන්නෙකු කණ්ඩායම සමඟ එක් කර ගත්තා.
නමුත් අවසානයේ ඉන්දියාවට ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 209ක දැවැන්ත පරාජයක් උරුම වූ අතර පිරිසක් විසින් මෙම පරාජයට හේතුව ලෙස සඳහන් කළේ, Ashwinව ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කර නොගැනීමයි.
මේ අතර එම තරගය නිමා වීමත් සමඟම Twitter හි සටහනක් පළ කරමින් Ravichandran Ashwin විසින් ජයග්‍රාහී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙත සිය සුබ පැතුම් එක් කර තිබුණා.
එහි දී ඔහු විශේෂයෙන්ම සඳහන් කර තිබුණේ අවුල් සහ කැලඹීම් සහගත තත්ව මධ්‍යයේ ක්‍රීඩා කළ සියලු ඉන්දීය ක්‍රීඩකයින් වෙත ඔහු සිය කෘතඥතාව පළ කරනා බවයි.
Congratulations Australia on winning this #WTCFinal and closing out this cycle of test cricket. It is disappointing to end up on the wrong side of things, nevertheless it was a great effort over the last 2 years or so to get here in the first place.
Amidst all the chaos and…
— Ashwin 🇮🇳 (@ashwinravi99) June 11, 2023
තමන් විසින් මෙම Twitter සටහන පළ කළේ සියලු අතීතය වසා දමමින් ඉදිරියට යාමට අවශ්‍ය නිසා බවයි දැන් Ashwin විසින් සඳහන් කරන්නේ.
“අවසන් තරගය අවසන් වූ පසු මම Tweet එකක් දැම්මේ මේ දේවල් වසා දැමිය යුතු බව මට දැනුණු නිසා. එය වසා දැමීමෙන් පසු මට ඉදිරියට යා හැකියි. ඒ දේවල් වල එල්ලිලා ඉන්න වෙලාවක් නැහැ. මම දැන් ජීවිතය ගැන ගොඩක් තේරුම් අර ගෙන ඉන්නේ.
ඊටත් වඩා, එය මගේ පවුලට ඇති කරන පීඩනය හිතා ගන්නවත් බැහැ. මගේ පියාට හෘද රෝග සහ වෙනත් ගැටලු තියෙනවා. හැම දවසක ම, හැම තරගයක ම මොනවා හරි දෙයක් වෙනවා. ඔහු මට කතා කරනවා, ඔහු ආතතියට පත් වෙලයි ඉන්නේ.
මට එළියට ගිහින් ක්‍රීඩා කරන එක පහසු දෙයක්, මොකද දේවල් තවමත් මගේ පාලනය යටතේ තියෙන නිසා. ඒත් මගේ පියාට එහෙම නෙවෙයි. මම මුහුණ දෙනවා වගේ දෙගුණයක් දේවල් වලට ඔහු මුහුණ දෙනවා. ඉතින් පිටත ඉඳන් බලා ගෙන ඉන්න හැමෝටම මේක අදාළ වෙන්නේ නැහැ.”
පවතින වටපිටාව අනුව එවැනි සිදුවීම් හැකි ඉක්මනින් වසා දැමීම කාලෝචිත බවයි Indian Express වෙබ් අඩවිය සමඟ සිදු කළ සාකච්ඡාවක් අතරතුර Ashwin විසින් පවසා සිටියේ.
- පාකිස්තාන ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ තීරණයක්
- වෙල්ලාලගේ, ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
- Pietersenට කට උත්තරත් නෑ!
- Ashwinට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල
- 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි
එමෙන්ම Ashwin විසින් එම සාකච්ඡාව තුළ විශේෂයෙන්ම සඳහන් කර තිබුණේ තම වෘත්තීය ජීවිතයේ සිදු වූ හෝ සිදු වන දෑ සඳහා වෙනත් කිසිවකුට ඇඟිල්ල දිගු කිරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි. එමෙන්ම තමන් කිසිවකුගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු නොවන බවත් Ashwin විසින් වැඩිදුරටත් අවධාරණය කළා.
“මගේ ගමන ගැන මට කිසිම අනුකම්පාවක් නැහැ. මට ආපසු ගිහින් (අතීතය දෙස හැරී බලමින්) මේක මට වෙච්ච දෙයක් නෙවෙයි එයාට වෙච්ච දෙයක් කියලා හරි පහසුවෙන් කියන්න පුළුවන්. මම මට එක තත්පරයක දී වත් අනුකම්පා කර ගන්නේ නැහැ. ඒ නිසයි මම ඒ Tweet එක දැම්මේ. මට එය වසා දැමීමට අවශ්‍ය වුනා. මිනිස්සු මට අනුකම්පා කරනවා කියන දේට මම වෛරය කරනවා. මට එය තවදුරටත් දරා ගෙන ඉන්න බැරි වුනා.”
එමෙන්ම මේ සාකච්ඡාවේ දී ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් “Ashwin සිටියා නම් අපි දිනුම්” යනුවෙන් පවසන උදාන වාක්‍ය බල රහිත කිරීමට තරමක් සැර පිළිතුරක් ලබා දීමට ද Ashwin විසින් වග බලා ගෙන තිබුණා.
“සමාජ මාධ්‍ය වල ‘එයා සෙල්ලම් කළා නම් අපි දිනනවා’ කියලා මිනිස්සු කියනවා. මම ක්‍රීඩා කළා නම් අපි දිනයි කියලා මට විශ්වාස නැහැ. මම මගේ උපරිමය ලබා දේවී සහ මම එහි සාර්ථක වෙන්න හොඳම උත්සාහය දැරූ බව මම විශ්වාස කරාවි. මට කළ හැක්කේ එපමණයි.”
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<