නයිජීරියා ක්‍රිකට් ගොඩගැනීමේ වගකීම ගුරාට

346

නයිජීරියා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ High Performance Center කළමනාකරණ ධුරය සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා පත් කිරීමට නයිජීරියා ක්‍රිකට් සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව ඔහු දෙසැම්බර් මස 01 වැනිදා (අද) සිට එම ධුරයේ වැඩ කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අතර ගුරුසිංහ මහතා එම කණ්ඩායමේ පුහුණුකාර ධුරයට අමතරව ක්‍රීඩක උපදේශකයෙකු ලෙස ද කටයුතු කිරීමට නියමිතව ඇති බව නයිජීරියා ක්‍රිකට් නිල Twitter ගිණුමේ සටහන් කර තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමෙන් පසුව පසුගිය අවුරුදු 3ක පමණ කාලයේ දී තරමක ප්‍රගතියක් පෙන්වීමට සමත් වූ නයිජීරියානු ක්‍රිකට් කණ්ඩායම 2019 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කළ අතර එම වසරේම පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කිරීමට සමත් විය.

කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස අසංක ගුරුසිංහ මහතා පත්කිරීම පිළිබඳව අදහස් දැක්වූ නයිජීරියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති Yahaya Adam Ukwenya ප්‍රකාශ කර සිටියේ පුහුණුකරු ලෙස අසංක පත් කරගැනීමට ලැබීම නයිජීරියානු ක්‍රිකට් සංවර්ධනයේ විශාල සංධිස්ථානයක් වනු ඇති බවයි.

“අපගේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා, ඔහුගේ (ගුරුසිංහගේ) පත්වීම මගින් අපගේ ක්‍රිකට් ව්‍යුහය සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් වනු ඇත. නයිජීරියාවට තව දුරටත් පහළ මට්ටමේ කණ්ඩායමක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලා සිටීමට නොහැක. සෑම මට්ටමකම ක්‍රීඩා කිරීමට අපට හැකියාවක් තිබිය යුතුයි. එය නිකන් ලකුණු ලබාගැනීම පමණක් නෙවෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

1985 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ගුරුසිංහ මහතා එක්දින තරග 147ක් සහ ටෙස්ට් තරග 41ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්ව ඇති අතර 1996 ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු වූ එතුමා ශ්‍රී ලංකාවට කුසලානය ජය ගැනීම සඳහා විශාල සේවාවක් ඉටු කරන ලදි.

පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අදියර 03 පුහුණුකරු පාඨමාලාව සම්පූර්ණ කළ ගුරුසිංහ මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කලාපීය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර 2017 වසරෙ සිට වසර කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සහ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<