අරුණ දර්ශනට චීනයේ දී සුපිරි ජයක්

The 2nd Belt and Road Invitational Athletics Meet

87

චීනයේ පැවැත්වෙන The 2nd Belt and Road Invitational මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන තරගාවලියේ මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට අද (28) සමත් වුණා. 

තරගාවලියේ පිරිමි මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ අරුණ දර්ශන එම ඉසව්ව තත්පර 45.48ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඔහු මෙම තරගය ආරම්භයේ සිටම පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටියා. 

මෙම තරගාවලියේ මීටර් 400 මූලික වටයේ දී තත්පර 46.26ක කාලයක් වාර්තා කරමින් ජයග්‍රහණය කිරීමට ඊයේ (27) දිනයේ දී අරුණට හැකියාව ලැබූ අතර මෙම තරගාවලිය ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සංචාරයේ C කාණ්ඩයට අයත් තරගාවලියක් වෙනවා. 

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් අරුණ මෙම තරගාවලිය සඳහා සහභාගී වූ අතර ඔහුට මෙම තරගයේ දී පරිසාධන කාලය ඉක්මවා යෑමට නොහැකි වූවත් ජයග්‍රහණය කිරීමෙන් හිමිවන ප්‍රසාද ලකුණු සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට වැදගත් වෙනවා.  

අරුණ අද (28) දිනයේ දී මීටර් 200 මූලික වටයේ තරගය සඳහා ද සහභාගී වූ අතර මූලික වටයේ 16 වැනි තරගය තත්පර 21.23 ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගත්තා.  

මීටර් 200 ඉසව්වේ ඔහු සහභාගී වන අවසන් තරගය හෙට (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<