අරුණගේ වටිනා උත්සාහය අපතේ යයි

Paris Olympics 2024

4
Paris Olympics 2024

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ වැදගත් ම සංධිස්ථානයක් සලකුණු කරමින් අරුණ දර්ශන අද (06) 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වුනා.

ඉසව්වේ පළමු වටයේ දී තත්පර 44.99කින් තරගය නිම කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ අරුණ මෙහි දී නැවතත් එය අලුත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරග ඉසව්වෙ දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වූ අරුණ විසින් තත්පර 44.75ක කාලයක් සමඟ ඉසව්වේ පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ නමුත්, ධාවනයේ දී මංතීරු නීති උල්ලංඝනය කිරීම නිසා ඔහුගේ ධාවන ස්ථානය අවලංගු කෙරුණා.

මෙම තරගයට අරුණට අමතරව ලෝක ශ්‍රේණිගත කිරීම් හි අංක හතර ස්ථානයේ රැඳෙන ග්‍රැනේඩාවේ Kirani James ද සහභාගී වූ අතර, ඔහු මෙම ඉසව්වේ පුරාවෘත්තයක් ලෙස සැලකිය හැකි ක්‍රීඩකයෙක්. ඔහුට ඉසව්වේ පළමු ස්ථානය හිමි කරගත්තා.

එමෙන්ම ශ්‍රේණිගත කිරීම් හි 13 වැනි රැඳෙන දකුණු අප්‍රිකාවේ Lythe Pillay ද සහභාගී වූ අතර ඔහුට හිමි වුනේ අවසන් ස්ථානයි.

අරුණගේ ධාවනය අවලංගු කිරීමට පෙර ඔහු ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ තරගකරුවන් අතුරින් 13 වැනි ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඔහු විසින් මෙවර ඔලිම්පික් උළෙලේ දී දැක්වීමට සමත් වූ විශිෂ්ට දක්ෂතා ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට කිසි දා අමතක නොවනු ඇති අතර, අරුණ පිළිබඳ මතු බලාපොරොත්තු රැසක් ද තබා ගත හැකි වනු ඇති.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<