“Chef” (අරක්කැමියා)
ඒ ජාත්‍යන්‍තර ක්‍රීඩකයන් ඔහුව හැඳින්‍වූ සුරතල් නාමයයි. සුදු ඇඳුමෙන් සැරසුන, තරමක් තරබාරු සිරුරකින් හෙබි ඔහු දෙස මොහොතක් බලා සිටීමේ දී ඒ සුරතල් නාමයෙහි වරදක් ඇත්‍තේ ද නැතැයි ඔබට සිතිය හැක.
[rev_slider LOLC]
වසර විසි ගණනක් යුද්‍ධයෙන් හෙම්‍බත් වී දිනුමක් අවැසිව සාගින්නෙන් පෙළුන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ජයග්‍රහණ පිපාසය නිවාලමින්, සියලු විචාරක මත වලට එදිරිව ගොස් 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කර, ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරමින් ජයපැන් බඳුන ශ්‍රී ලාංකිකයන්‍ට පිළිගැන්‍වූ සැබෑ අරක්කැමියා ඔහුය. මෙය ඔහුගේ වර්තමානය පිළිබඳව කෙරෙන විචාරයක් නොවේ. මේ ඔහු පිළිබඳව කෙරෙන අතීතාවර්ජනයකි. එබැවින් දේශපාලන අව්කණ්නාඩි ගලවා පසෙකින් තබා ඔහු ගැන කියවන්නට එන්නැයි මම ඔබට ආරාධනා කරමි.
ඔහු ගැන ලියන්‍නට මා සුදුස්‍සෙකු දැයි මම නොදනිමි. 1996 ලෝක කුසලානය දිනාගන්‍නා වකවානුවේ මා 8 හැවිරිදි කුඩා දරුවෙකි. රැයක් නිදිවරා අර්ජුන ප්‍රමුඛ අපේ කොල්‍ලන් ලෝක කුසලානය දිනා ගත් මොහොත ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් වීම මා හට ඔහු ගැන කතා කරන්‍නට තිබිය යුතු අවම සුදුසුකම යැයි මම සිතමි. මේ වෑයම මා තරම් වත් ඔහු ගැන නොදන්‍නා සුහුඹුලන් හට ඔහු ගැන යමක් දැන ගැනීම පිණිස මා දන්නා දේ ලියා තැබීමට ය. මා ඉක්‍මවා ඔහු ගැන දන්‍නා උන් මෙහි දොස් ඇත්‍නම් ඉවසත්වා!
අපි ඉතිහාසයට මොහොතකට ගමන් කරමු. අප කතා නායකයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ 70 දශකය වන විට ටෙස්ට් වරම් නොලබා සිටි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව රඳා පැවතුණේ අගනුවර හා කන්ද උඩරට ජනප්‍රිය මිෂනාරී පාසල් කිහිපයක අණසකට යටත්ව ය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමුව තිබූ එම වකවානුවේ දී ක්‍රීඩකයන් හට පාසල් කණ්ඩායම තුළින් සෘජුවම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලැබීමේ අවස්ථා හිමි වී තිබීම දක්නට ලැබුණි.
එවක පැවති මිෂනාරී අධ්‍යාපන පසුබිම අභියෝගයට ලක් කළ ප්‍රධාන බෞද්ධ පාසලක් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයයි. මේ නිසාම අගනුවර ප්‍රධාන පාසල් අතර ඇතිවී තිබුණේ සීතල යුද්ධයකි. එක් පසෙකින් රාජකීය-සාන්ත තෝමස් වැනි මිෂනාරි පසුබිමක් සහිත පාසල් වලිනුත්, අනෙක් පසින් ආනන්ද-නාලන්ද වැනි බෞද්ධ පසුබිමක් සහිත පාසල් වලිනුත් මෙම කඳවුරු දෙක බල ගැන්වී තිබුණි. එම සීතල යුද්ධය ක්‍රීඩා පිටිය තුළදීත් අඩුවක් නොමැතිව එලෙසම පැවතුනි.
ඉංග්‍රීසි භාෂාවට මුල් තැනක් හිමිවී තිබූ එම යුගයේ තරුණ පිරිස් අතර ඉංග්‍රීසි භාෂාව හැඳින්වීම සඳහා “කඩුව” (sword) යන වචනය භාවිතා කිරීම දක්නට ලැබුණ අතර එයට හේතුව වූයේ හැසිරවීමට නොදන්නා අය කැපී යනවා යැයි අරුතක් ඒ වදන තුළ ගැබ් වූ නිසාය. 1956 වසරේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළ ද, 1979 වසරේ නාලන්ද විදුහලෙන් බිහිවූ බන්දුල වර්ණපුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වුවද, ඒ වන විටත් එවක මුල් බැසගෙන තිබූ මිෂනාරි සම්ප්‍රදායන් අභියෝගයට ලක් කර අතික්‍රමණය කරන්නට එවකට බෞද්ධ පසුබිමක් සහිත පාසල් සමත්ව තිබුණේ නැත.
මෙවැනි පරිසරයක් තුළ 70 දශකයේ අග භාගයේ දී කොළඹ ආනන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන තරුවක් වූ අර්ජුණ රණතුංග 15 වැනි වියේ දී මිෂනාරී පාසල්‍වල බලකොටුවක් වී පැවති කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (SSC) වෙත පිවිසෙන්‍නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් තමා දුටු සිහිනයන් සැබෑ කරගැනීමේ අරමුණෙනි. එහි දී අර්ජුනට ලැබෙන්‍නේ උණුසුම් පිළිගැනීමක් නොවේ. සිංහල ක්‍රීඩා සමාජයට පය තැබූ පළමු දිනයේ ම එම ක්‍රීඩා සමාජයේ එවක සිටි ඉහළ නිළධාරියෙකු අර්ජුනව ප්‍රතික්‍ෂේප කරන්‍නේ ඔහුව සරම් ජොනියෙකු ලෙස හඳුන්‍වමිනි. ඒ අර්ජුනට ක්‍රිකට් පිටිය තුළ එල්ල වූ පළමු අභියෝගයයි.
එම සිදුවීමෙන් වසර තුනකට පසු, එනම් 1982 පෙබරවාරි මස 17 වන දින තම මංගල ජාත්‍යන්‍තර ටෙස්‍ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්‍නට එවකට 18 හැවිරිදි අර්ජුන සමත් වන්‍නේ පෙරකී නිල දරුවා ඇතුළු සමස්‍ත ක්‍රිකට් ප්‍රජාවම විමතියට පත් කරමිනි. එකල සිටි වමත් පිතිකරුවන් සියලු දෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන්නට සමත් වීම නිසා අර්ජුණ හට ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ අතර එතැනින් නොනැවතී ඔහු තම මංගල ටෙස්ට් තරගයේ ම අර්ධ ශතකයක් රැස් කරන්‍නේ අනෙක් අන්‍තයේ ක්‍රීඩා කළ රංජන් මඩුගල්‍ලේ හට අනගි සහයක් ද ලබා දෙමිනි. ඒ අසාධාරණයට ඔහුගේ පිළිතුරු දීමේ පිළිවෙතයි.
ටෙස්‍ට් වරම් දිනා ගැනීමෙන් පසු ජාතික කණ්‍ඩායමේ නිත‍්‍ය සාමාජිකයෙකු බවට පත් වූ අර්ජුන එතැන් පටන් ජ්‍යේෂ්‍ඨයන් හා කරට කර තරග වදිමින් උපායශීලීත්වය හා අත්‍දැකීම් තම ක්‍රීඩාවට එකතු කරගත්‍තේ අනාගතයේ තමා වෙත පැවරීමට නියමිත වගකීම් සමුදාය හිස මත දැරීම සඳහා සූදානම් වෙමිනි. 1988 වසරේ දී නායකත්වයේ කිරුළ දරාගත් එවක 25 හැවිරිදි වූ මේ තරුණයා තම කණ්‍ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයක් වෙත මෙහෙය වීමේ පිඹුරුපත් සැකසීම ආරම්‍භ කරන ලද්‍දේ 1994 වසරේ දී එවකට ක්‍රිකට් ආයතන සභාපතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා දීමේ පුරෝගාමියෙකු ලෙස ද අමිල මෙහෙයක් ඉටු කළ ගාමිණී දිසානායක මහතාගේ දිරිගැන්‍වීම් මතය. 1994 වසරේ පටන් සෑම තරගාවලියක දී ම දිසානායක මහතාගෙන් අර්ජුනට ලැබුණ උපදෙස වූයේ “මෙම තරගාවලියත් වැදගත්, නමුත් ඔබ සිතිය යුත්‍තේ 96 ලෝක කුසලානය ගැනයි” යන්‍නයි.
කුමන අයුරකින් සැලසුම් සකස් කළ ද කණ්‍ඩායම් ක්‍රීඩාවක දී කණ්‍ඩායමේ සියලු දෙනා එකා වන්‍ව එකට එක් කිරීම ඉතා අපහසු කටයුත්‍තකි. මෙය නායකයෙක් මුහුණ දෙන විශාලතම අභියෝගයයි. ලෝක කුසලාන තරගාවලියට කෙමෙන් කෙමෙන් ළං වෙත්ම ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ කෙණෙහිලිකම් දිගින් දිගටම වැඩි වන්නට විය. එහි පුපුරා යෑම සටහන් කරමින් 1995 වසරේ දී ඕස්‍ට්‍රේලියානු සංචාරය අතරතුර දී මුරලිදරන් හට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්‍ල වීමේ සිදුවීම ශ්‍රී ලංකාව වෙත පැමිණි වෙස්‍වළාගත් ආශිර්වාදයක් වූ බව වර්තමානයේ සිට අතීතය විමසීමේ දී පෙනී යයි. එම සිදුවීමෙන් කණ්‍ඩායමේ ක්‍රීඩකයන් අතර බැඳීම ශක්‍තිමත් වූවා පමණක් නොව සමස්‍ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්‍ෂක ප්‍රජාවම එකාවන්‍ව කණ්‍ඩායම පසුපසින් නැඟී සිටියහ. එම අවස්‍ථාවේ දී අර්ජුන ක්‍රියා කළ ආකාරය නොවන්‍නට ටෙස්‍ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්‍ටතම පන්දු යවන්‍නා ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ තිබුණි. ඔබත් එවකට ක්‍රිකට් උමතුවෙන් පෙළුන ප්‍රේක්ෂකයෙක් නම් ඔබටත් එහි දී අර්ජුන විනිසුරුවන් හා තර්ක කරමින් තම කණ්‍ඩායම පිටියෙන් ඉවතට රැගෙන ගොස් විනිසුරු තීරණයට විරුද්‍ධත්වය ප්‍රකාශ කළ අයුරු සිහිවනු ඇත. ඒ අර්ජුන තම බල අධිකාරිය ලොවට නිරාවරණය කළ මොහොතයි.
සාමාන‍්‍යයෙන් පුද්‍ගලයෙකුට බැන වැදුනහොත් සිදුවන්‍නේ ඒ පුද්‍ගලයාගේ මනස අවුල් වී කරනා කාර්යය හරි හැටි ඉටු කිරීමට නොහැකි වීමයි. එය ක්‍රිකට් ක්‍රීඩාවට ද පොදුය. බොහෝ විට පන්දු යවන්‍නන් පිතිකරුවන් වෙත විවිධ දෝෂාරෝපන එල්‍ල කරමින් ඔවුන්‍ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දමා ඔවුන්‍ව දවා ගන්‍නා අවස්‍ථා ජාත‍්‍යන්‍තර ක්‍රිකට් පිටිය තුළ ඕනෑ තරම් දකින්‍නට ඇත. නමුත් මෙම උපක්‍රමය අර්ජුන හමුවේ ක්‍රියාත්‍මක කිරීමට ගොස් අර්ජුන ඉදිරියේ දණින් වැටෙන්‍නට සිදු වූ පන්දු යවන්‍නෝ කිහිප දෙනෙක් වෙති.
ලෝක පූජිත පා දඟපන්දු යවන්‍නෙකු ලෙස නම් දරා සිටි ශේන් වෝන් එලෙසින් අර්ජුනගේ අසාමාන‍්‍ය පෞර්ෂත්වය හමුවේ දණින් වැටුණ එක් පන්දු යවන්‍නෙකි. 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශේන් වෝන් හට පිළිතුරක් සැපයිය නොහැකි වන තරමට පහර පිට පහර එල්ල කළ අර්ජුන වෝන්ගේ සියලු ඔද තෙඳ බිඳ දැමූයේ ඔහුගේ විශිෂ්ටත්වය තඹයකට හෝ මායිම් නොකරමිනි. ශේන් වෝන් පිතිකරුවෙකු ඉදිරියේ එතරම් අසරණ වූ අවස්ථාවක් ඉන් පෙර හෝ ඉන් මතුව දකින්නට ලැබී නැත.
ශරීර ප්‍රමාණයෙන් තරමක් තරබාරු වුවද අවශ්‍ය මොහොතේ දී තම ජවය මැනවින් යොදා ගන්නා අර්ජුන කඩුලු අතර දිවීමේ ශූරයෙකි. ඉක්මන් ලකුණු සොරා ගැනීමේ සහජ ඉවක් ඔහු සතු විය. දඟපන්දු යවන්නන් හමුවේ පිත්ත පන්දු රකින්නෙකු නොමැති කලාපයකට හරවා ඒ දෙසට සෙමින් පන්දුව තල්ලු කර හරිමින් ඉක්මන් ලකුණු ලබා ගෙන පන්දු යැවීමේ රිද්මය අවුල් කර දැමීම ඔහු සතුවූ විශේෂ හැකියාවකි. පන්දුව තර්ඩ් මෑන් හෝ ෆයින් ලෙග් වැනි හතරේ සීමාව අසල ප්‍රදේශයකට ඇදී ගියහොත් කඩුලු අතර සෙමින් ඇවිද යෑමේ පුරුද්දක් ඔහුට තිබුනි. මේ පුරුද්ද නිසාම කිහිප වරක්ම දුවද්දී දැවී යාම්වලට හසු වීමට ද ඔහුට සිදු විය. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ඊළඟ තරගයේත් කඩුලු අතර පෙර සේම සෙමෙන් ඇවිද යන්නේ කිසිදු බියක් නොමැතිවය. ඒ අර්ජුනය. පිටිය මැද ඔහු පෙන්නුම් කළ සන්සුන් විලාශය හා සෑම විටම තරගය තම පාලනයේ පවත්වා ගැනීමේ විරල හැකියාව නිසා ජාත්‍යන්තර විචාරකයන් ඔහුට කැප්ටන් කූල් යන නාමය පටබඳින ලදි.
අර්ජුන කියන දේ කරනා (Walk the talk) වර්ගයේ නායකයෙකි. සෙසු ක්‍රීඩකයන් හට ඔහු ළඟ හුරතල් වන්‍නට ඉඩක් නැත. හිටපු නවසීලන්ත නායක මාටින් ක්‍රෝ ට අනුව අර්ජුන ඔහුට හමුවූ දරදඬුම ක්‍රීඩකන් අතරින් එක් අයෙකි. (He is as tough a cricketer as I have ever come across – Martin Crowe) අර්ජුන හට කුඩා නැපෝලියන් ලෙස ද නාමයක් පටබැඳී තිබුණේ ඔහුගේ මෙම දැඩි නායකත්ව පිළිවෙත නිසාය.
වේවැල අතට ගෙන තරවටු කරමින් හොඳ නොහොඳ කියා දුන් පසුබිමක හැදී වැඩී, ළමා විය පසුකර පැමිණි තරුණ කොලුගැටවුන් පිරිසකට කළ යුතු දේ කියා දීමේ හොඳම මග සහ පහසුම මග තරවටු කිරීම යැයි අර්ජුන දැන සිටියා විය හැක. එම නිසා නායකත්වය තුළ දී බොහෝ විට අර්ජුන කෙරෙන් දිස් වූයේ පීතෘ ලක්ෂණයන් බැව් මෙහි දී සඳහන් කළ යුතුමය. මෙම පීතෘ භූමිකාව පිටිය තුළ දී පමණක් නොව ඉන් ඔබ්බටත් ඔහු කෙරෙන් දිස් වූ අතර සනත් ජයසූරිය වැන්නවුන්ගේ නායකයා පමණක් නොව භාරකරු බවටත් ඔහු පත් වන්නේ සනත් මෙන්ම තවත් තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හට තම නිවසේ නවාතැන් පහසුකම් පවා සපයා දුන් වටපිටාවක් තුළය.
අර්ජුන ක්‍රීඩකයන් හැදුවේය. වරද දුටු තැන දඬුවම් කර, තරවටු කර ඔහු සනත් ජයසූරියලා, මුරලිදරන්ලා, චමින්ද වාස්ලා, මහේල ජයවර්ධනලා නිර්මාණය කළේය. ඔහු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට පියෙකු වන්නේ එබැවිනි. වරක් රූපවාහිනී වැඩසටහනකට එක්වූ සනත් ජයසූරිය අර්ජුනගේ නායකත්වය ගැන අදහස් දක්වමින් එකල ක්‍රීඩකයන් අර්ජුනට කෙතරම් බියක් දැක්වූයේ ද යන්‍න පැවසූ අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙයි.
1996 වසරේ දී ශ්‍රී ලංකාව සතුව සිටි කණ්ඩායම එවකට ලොව සිටි විශිෂ්ටතම කණ්ඩායම නොවේ. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් වැනි කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ අඩු පිළිගැනීමකි. අප කණ්ඩායම තරගාවලියට එළඹුණේ, තරගාවලිය ආරම්භයේ යමෙක් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කරන බවට අනාවැකි පලකළා නම් විචාරකයන් ඔහු දෙස බලා අවඥාවෙන් මෙන් සිනාසෙන තරම් පසුබිමකය. නමුත් ඒ මොහොත වන විට කණ්ඩායමක් වශයෙන් අප සිටියේ ඉතා ප්‍රභල ස්ථානයකය.
නායක අර්ජුන සතුව ලෝක කුසලානය ජය ගැනීමට නම් කළ යුතු කාර්යයන් පිළිබඳව මනා දැක්මක් වූ අතර ඒ දැක්ම අවබෝධ කරගත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඔහු වටා විය. තම කණ්ඩායමේ වටිනාම ජ්‍යේෂ්ඨයා මෙන්ම කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය ද අරවින්ද බව හඳුනාගෙන සිටි අර්ජුන ඔහුව සියලු වගකීම්වලින් නිදහස් කර තැබීමට වග බලා ගත්තේය. නවකයන් වූ සනත් සහ කලූ යුගලයට නිදහස් බලපත්‍ර ලබා දී රිසිසේ ලකුණු රැස් කරන්නට ඉඩ සලසා දුන් අර්ජුන, ජ්‍යේෂ්ඨයකු වූ අසංක ගුරුසිංහ හට පවරන ලද වගකීම වූයේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවාර 50 නිමා වනතෙක් කඩුල්ලේ රැඳී සිටීමයි. රොෂාන් මහානාම සහ හෂාන් තිලකරත්න යන ජ්‍යේෂ්ඨයින් දෙදෙනා පිතිකරු ලැයිස්තුවේ පහළට යොමු කළ අර්ජුන කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටී ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණ අවස්ථාවල දී යළි ගොඩ ගැනීමේ වගකීම ඔවුන් දෙදෙනාට භාර කරන ලදි.
එවකට අප සතුවූ පන්දු යැවීමේ බලඇණිය තුළ නම් දැරූ කිසිදු පන්දු යවන්නකු සිටියේ නැත. නමුත් සියල්ලෝම තමා හට පැවරුණ වගකීම මැනවින් හඳුනා ගෙන සිටි අතර ඔවුන්ව තමාට අවශ්‍ය පරිදි මෙහෙයවා අවැසි වූ විටෙක අරවින්දවත් යොදවා කඩුල්ලක් දෙකක් දවා ගෙන තරගය තමා වෙත හරවා ගැනීමට අර්ජුන සමත් වූයේ තමා සතු සම්පත්වලින් උපරිම ඵල නෙළා ගනිමිනි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වැදුණ ආකාරය පිළිබඳව මම වැඩි විස්තරයක් නොලියමි. ඒ පිළිබඳව එක් ඡේදයකින් හෝ දෙකකින් ලියා තැබීමට නොහැකිය. ඉතින් අඩුවෙන් ලියා තැවෙනු නොරිසි නිසාවෙන් ඒ ගැන නොලියා හිඳිමි. අර්ජුනගේ නායකත්වයේ සෘජු බව කියා පෑමට පමණක් එක් උදාහරණයක් ලියා තබමි. 1996 වසරේ ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරඟා බලන්නට තණතිල්ල වෙත පිවිසෙන අර්ජුනට අතර මැද දී මුණ ගැසෙන්නේ 1992 වසරේ, එනම් ඉන් පෙර ලෝක කුසලානය ජයග්‍රහණය කළ, එවක හොඳම නායකයා ලෙස අභිසෙස් ලබා සිටි පාකිස්තානු කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන් ය.
“පළමුව පිතිහරඹයේ යෙදෙන්න හොඳ තණතිල්ලක්. මගෙන් සුභ පැතුම්”
ඒ ඉම්රාන්ගේ වදන්ය. ඉන් සුළු මොහොතකට පසුව අර්ජුන කාසියේ වාසිය දිනාගන්නා ලදි.
“අපි පළමුව පන්දු යවනවා”
ඒ ප්‍රවීණ විචාරක මත වලට හා ඉම්රාන් ඛාන්ගේ මතයට එදිරිව ගොස් අර්ජුන ගත් තීරණයයි. එම තීරණයේ ප්‍රතිඵල ජාතියක් වශයෙන් අපි අදටත් භුක්ති විඳින්නෙමු.
ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම නායකයා අර්ජුන රණතුංග ද? ඒ පැණයට පිළිතුරු සපයන්නට යෑමම නිශ්ඵල ක්‍රියාවකැයි මට සිතේ. ඇතැම් මිල කළ නොහැකි දේ පවත්නා ලෙසින්ම පවතින්නට ඉඩ හැරීම යහපත්ය. ඒ මිල කළ නොහැකි දෑ සඳහා ලංසු ඉදිරිපත් කරන්නට යෑමෙන් ඒවායේ සැබෑ වටිනාකම හෑල්ලු වී යෑමේ ඉඩක් පවතින නිසාය.
මිෂනාරි සංස්කෘතියක් තුළට සරම් ජොනියෙකු ලෙස පිවිස, වයස අවුරුදු 18 දී ටෙස්ට් වරම් දිනා තම මංගල ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය සෑම පන්තියකටම විවෘත කර දුන්, වමත් කසකරුවෙකු හා කුඩා ඩයිනමෝවක් ක්‍රිකට් ලෝකයට හඳුන්වා දෙමින් සීමිත ඕවර තරග රටාව නව මානයකට ගෙන ගොස්, ගමේ කොල්ලන් බහුතරයකගෙන් සැදුම් ලත් සාමාන්‍ය කණ්ඩායමක් (average cricketers) ලෝක කුසලාන ජයක් වෙනුවෙන් මෙහෙයවා ලොව අංක 1 කණ්ඩායම වූ ඕස්ට්‍රේලියානුවන් බිම දණින් වැට්ටවූ, ලෝක ක්‍රිකට් සිතියමේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් රාජධානියේ එදා මෙදා තුර පහළ වූ අසහාය මහරජාණෙනි…
ඔබට ආයුබෝ වේවා!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<