ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය අර්ජුන රණතුංගට

401

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (10) දින ටොරින්ටන් හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් සිදු විය.

නව ජාතික ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.

තවද ගරු ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේ දී ගරු අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මූලික කර ගත් විශේෂ වැඩසටහන් සඳහා මග පෙන්වීම ද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ගරු අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදි.

අමාත්‍යවරයා අතින් පත්වීම් ලද නව සාමාජිකයින් –

නම තනතුර
අර්ජුන රණතුංග මහතා සභාපති
ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්.ලියනගේ මහතා සාමාජික
එයාර් මාෂල් එස්.කේ. පතිරණ මහතා සාමාජික
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සාමාජික
අමල් එදිරිසූරිය මහතා නිල සාමාජික
මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි මහතා සාමාජික
වෛද්‍ය මයියා ගුණසේකර මහතා සාමාජික
ශ්‍රියානි කුලවංශ මහත්මිය සාමාජික
නීතිඥ අජිත් පතිරණ  මහතා සාමාජික
සුනිල් ජයවීර මහතා සාමාජික
ක්‍රීෂාන්ත මෙන්ඩිස් මහතා සාමාජික
ලසිත ගුණරත්න මහතා සාමාජික
නලින්ද ඉලංගකෝන් මහතා සාමාජික
සුදත් චන්ද්‍රසේකර මහතා සාමාජික
සුජානි බෝගෝල්ලාගම මිය ලේකම්

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<