එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ ලෝක කුසලාන පදක්කම නැති වීම පිළිබඳව ප්‍රවෘත්තියක් පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ඔහු නිවස මාරු කිරීමත් සමඟින් මෙලෙස එම පදක්කම අස්ථානගත වූ බව ඔහු එහි දී පවසා තිබුණි. කෙසේ වෙතත් ආචර් පසුගිය ඉරිදා (27) පැවසුවේ තම ලෝක කුසලාන පදක්කම සොයා ගත් බවයි.
ලෝක කුසලාන පදක්කම නැති වෙලා
එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් BBC රේඩියෝව සමඟින් පසුගිය සෙනසුරාදා එක්වෙමින්…
25 හැවිරිදි සසෙක්ස් වේගපන්දු යවන්නා පදක්කම ඇඳක් මත තිබෙන ඡායාරූපයක් පළ කළේය එහි “අහඹු ලෙස අමුත්තන්ගේ නිදන කාමරය පරීක්ෂා කළා එය තිබුණා.” ලෙස සඳහන් කර තිබුණි.
Randomly searching the guest bedroom and boom ? pic.twitter.com/EPNC55tN37
— Jofra Archer (@JofraArcher) April 26, 2020
ආචර් මීට පෙර සහභාගි වූ BBC රේඩියෝවේ වැඩසටහනක දී ඔහුගේ පදක්කම තිබෙන්නේ කොහේ දැයි විමසූ විට ඔහු පවසා සිටියේ “යමෙකු මා වෙනුවෙන් කළ චිත්‍රයක් මට එවා තිබුණා. මා මගේ පදක්කම ඒ මත එල්ලා තිබුණා.” ලෙසයි.
“මම අලුත් නිවසකට ගියා. ඒ පින්තූරය බිත්තියේ එල්ලලා තියනවා. නමුත් පදක්කම නෑ. මම සතියක් පමණ නිවස උඩු යටිකුරු කළා. නමුත් මට තවමත් එය සොයා ගැනීමට නොහැකි වුනා.”
“එය නිවසේ තිබිය යුතු බව මම දන්නවා. ඒ නිසා මම ඒ ගැන විමසිල්ලෙන් සිටිනවා. නමුත් මම දැනටමත් එය සොයමින් උමතු වෙලා ඉන්නේ.”
පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සොයා ගත් හොඳම තුරුම්පුව වූයේ ආචර් ය. සසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට පිවිසි ආචර් එංගලන්තය ඔවුන්ගේ පළමු එක්දින ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ප්‍රධාන මෙහෙවරක් ඉටු කළේය. තරගාවලිය තුල ආචර් කඩුලු 20ක් දවා ගත්තේ 23.05ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වයස අවුරුදු 25 දී තම ජාත්‍යන්තර ආගමනය සටහන් කළ ආචර් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කෙතරම් මෙහෙයක් කළා ද කිවහොත් තරගාවලියේ අවසන් තරගය ලකුණු සමවීමෙන් නිමා වීමත් සමඟින් පැවති සුපිරි පන්දු වාරය යැවීමට එංගලන්ත නායක ඔයින් මෝර්ගන් තෝරාගත්තේ ආචර් ය. ලෝඩ්ස් ක්‍රීඩාංගණය අමතක නොවන මතකයක් කරා රැගෙන ගිය ඔහු එම පන්දුවාරයෙන් එංගලන්තයට ජයග්‍රහණය හිමිකර දුන්නේය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<