පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා එක්දින ජාතික කණ්ඩායමේ නායක ධූරය දැරූ ඇන්ජලෝ මැතිව්ස්, අද (8) අවසන් වූ සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා සිව්වන ජාත්‍යන්තර තරගය කඩුලු 4ක් ලෙස පරාජයකට ලක් වීමත් සමඟින් නැවතත් දැඩි විවේචනයට හා දැඩි පීඩනයකට ලක්විය.
ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාව සියතින් ගෙල සිඳ ගනියි!
සිව්වැනි එක්දින තරගයේ දී මුලින් පන්දුවට පහර දෙමින් අද්විතීය ලෝක වාර්තාවක් පවා බිහිකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් (08) පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදු විය.
මැතිව්ස් නායකයෙක් ලෙස ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ 45.70ක වැනි හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමෙන් නායකයෙක් ලෙස තම හැකියාවන් පෙන්වා ඇති අතර, සාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 40.83ක් වැනි සැලකිය යුතු මට්ටමක තිබේ. කුමක්ද ඔහුගේ නායකත්ව හැකියාව, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවේ කෙළින් හා දැඩි තීරණ ගන්නේ මෙසේද? ආදී වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මැතිව්ස් හට විවිධාකාර ප්‍රතිචාර ලබා දෙමින් සිටියි.
2012 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීම ආරම්භ කළ වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස්, එදා සිට මේ වන තෙක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 97කට තම නායකත්වය ලබා දී ඉන් තරග 47ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇත. එමෙන්ම මැතිව්ස් මෙහෙයවූ තරග 44ක් පරාජයට පත්වී ඇත. මැතිව්ස් සිම්බාබ්වේ තරගාවලිය ආරම්භ වීමට පෙර, මෙම එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉලක්ක කරගෙන සිටියේය. නමුත් එම බලාපොරොත්තු මුලිනුපුටා දමමින්, ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට 2-2ක් ලෙස තරගාවලිය සම මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇත.
මැතිව්ස් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සුදුසුම නායකයා ද?
“අපේ කණ්ඩායම යම් පීඩනයකට හසුවුනා, ඒ නිසා මම නායකයෙකු ලෙස විශාල පීඩනයකට හසුවුනා, අපි හොඳින් පිතිකරණයේ නිරත වුනා. අපි පසුගිය කාලයේ පරාජයට ලක්වූ තරග බොහෝමයක් පරාජය වූයේ, පන්දු යැවීමේ දී සිදුවුනු අඩුපාඩු නිසයි. අපේ පන්දු රැකීමත් සෑහීමකට පත්විය හැකි මට්ටමක නැහැ. නමුත් අපිට ලකුණු 300ක් වැනි ඉලක්කයක් ආරක්ෂා කර ගැනීමට නොහැකි නම්, අපේ කොතැනක හෝ විශාල වරදක් වෙලා තියෙනවා. මම දන්නේ නෑ මට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනකම් ශ්‍රී ලංකා නායකත්වය දරන්න වෙයිද කියලා.” නායකයා ලෙස තම අනාගතය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මැතිව්ස් එසේ පැවසුවේය.
මැතිව්ස් නායකත්වය දැරූ කාලසීමාව තුළ, ලබා ගත් ලකුණු ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තරග 29ක් පරාජය වී ඇත. මෑත කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනුව පිතිකරණයේ නිරත වී නොසිතූ ලකුණු පවා හඹාගොස් තරග ජයග්‍රහණය කිරීමට සමත්වී ඇත.
“අපි ඇත්තටම හිතුවේ නෑ වර්ෂාවෙන් තරගයට බාධා එයි කියාල. තණතීරුව උදෑසන ඉතාමත් හොඳින් වියළිලා තිබ්බා. අපි හිතුවේ හවස් වෙද්දී දඟපන්දු යවන්නන්ට වාසි වෙයි කියලා, පසුගිය තරගයේ දී දෙවැනි ඉනිමේ මුල් පන්දුවාර 20ට පසුව තණතීරුවේ හොඳ දෝලනයක් දැක්කා.” යැයි නායක මැතිව්ස් ප්‍රකාශ කළේය.
“අපේ පන්දු යැවීම නැවතත් දුර්වලයි කියාලා පෙන්නුම් කළා. අපි පළමුව පිතිකරණය කර හොඳ ලකුණු පුවරුවක් ගොඩනඟා ගත්තා. අවාසනාවකට දෝ වැස්ස නිසා තරගයට විශාල බලපෑමක් එල්ල වුනා. නැතිනම් එය ආරක්ෂා කර ගැනීමට අපට හුඟක් ඉඩකඩ තිබුණා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් කියා සිටියේය.
පසුගිය වර්ෂ 3ක කාලයක් පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම විවිධ ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට හඳුන්වා දී ඇත. එයට විශාලතම හේතුව වී ඇත්තේ, ප්‍රවීණ ක්‍රීඩකයින් වරින් වර විවිධ වූ ආබාධවලට ලක්වීමයි. සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් අද පැවැත්වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 208ක් ලබාගෙන තිබුණි. ඒ වන විට ලකුණු 330ක් වැනි ලකුණු මට්ටමකට පහසුවෙන්ම ළඟා වීමට හැකියාව තිබූ නමුත් සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ළඟා වීමට ඉඩ දුන්නේ ලකුණු 300 සීමාවට පමණි.
“දික්වැල්ල හා දනුෂ්ක නැවතත් දක්ෂ පිතිකරණයක නිරත වුනා, ඔවුන් අපට හොඳ අඩිතාලමක් සකස් කර දුන්නා පහසුවෙන්ම ලකුණු 330-340ක් වෙත යාමට. නමුත් අවසන් පන්දුවාර 10 පමණ තුල තණතීරුවේ හැසිරීම මන්දගාමී වුනා. අවසානයේ අපි විශාල ප්‍රහාරවලට යොමුවුනත් ඒ වන විට අපි ප්‍රමාද වී වැඩියි.” යැයි මැතිව්ස් තරගය පිළිබඳ තම දැක්ම වදන්වලට පෙරලන ලදි.
මෙහි වරද සම්පූර්ණයෙන්ම නායකත්වය මත පැටවිය නොහැක. සංගක්කාර, මහේල හා ඩිල්ශාන් යන ප්‍රතිභාපූර්ණ ක්‍රීඩකයන්ගේ නික්ම යාමෙන් පසුව අප කණ්ඩායම සංක්‍රාන්ති සමයක සිටියේය. නමුත් ඔවුන් පිටියට සමු දී සැලකිය යුතු කාලයක් ගෙවී අවසන්ය.
“ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්, ඔවුන්ට එදිරිව ඔවුන්ගේ රටේ දී ඔවුන්ව පරාජයට පත්කිරීමට හැකියාව ලැබීම පිළිබඳව මා කණ්ඩායම් නායකයා ලෙස සතුටට පත්වෙනවා. මීළඟ තරගයේ දී ඔවුන් අපට ඉතා විශාල අභියෝගයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යැයි සිම්බාබ්වේ කණ්ඩායම් නායක ග්රැහැම් ක්‍රීමර් සිව්වන එක්දින තරගය ජයග්‍රහණයට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කාටද? යන අවසන් තීරණය ලබාදෙන තියුණු හා වැදගත් තරගය ලබන 10 වැනි දා හම්බන්තොට සූරියවැව ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. එදින පැවැත්වෙන තරගයෙන් අනතුරුව, මැතිව්ස්ගේ කණ්ඩායම් නායක භූමිකාව ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කෙසේ බලපාවි දැයි තීරණයකට එළඹීමට හැකි වන අතර, මෙම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත්ම වැදගත් වන්නේ, ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස 26 වැනි දා ආරම්භ වන නිසාවෙනි.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට