අපොන්සු ඇතුළු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් ඇමරිකාවට

529

ශ්‍රී ලාංකික වමත් දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වන අමිල අපොන්සු සහ තවත් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්  කිහිප දෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් තේරී තිබෙනවා. 

ඒ අනුව ඔවුන්ට ඉදිරියේ දී ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

අපොන්සු මේ බව ThePapare.com වෙත තහවුරු කළ අතර ඔහු ඉතාමත් ඉක්මනින් ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව යාමට නියමිතව සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ද සමුදෙමිනි. ඔහු මෙවර ඇමරිකා එක්සත් ජනපද ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Atlanta Fire කණ්ඩායම නියෝජනය කරනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

වයස අවුරුදු 27ක් වන අපොන්සු ජාත්‍යන්තර එක්දින තරග 9ක දී සහ විස්සයි විස්ස තරග තුනක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ඔහු අවසන් වරට 2018 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා.

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුළ ද ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ අපොන්සු රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කළේ එහි ප්‍රබල සාමාජිකයෙක් වෙමිනි. එසේම ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අමතරව ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ, 19න් පහළ, 23න් පහළ, ශ්‍රී ලංකා නැගී එන සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් යන සෑම කණ්ඩායමක්ම නියෝජනය කරමින් අත්දැකීම් රැසක් ලබාගෙන තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර ශෙහාන් ජයසූරිය ද ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වූ අතර ඔහු, අමිල අපොන්සු සහ ශෙහාන් ප්‍රනාන්දු ද මෙවර මේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ඔවුන්ගේ දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් ඔවුන්ගේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සහ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නියමිතව සිටිනවා.

ශෙහාන් ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ පියා වන සජිත් ප්‍රනාන්දු ඇමරිකා එක්සත් ජනපදයේ 19න් පහළ තේරීම් කමිටු සාමාජිකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් ද වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<