පාසල් මහා ක්‍රිකට් තරග සමය නිමා වූව ද එහි මතකයන් තැන තැන සැරිසරයි. ඒ අතර කෙනෙක් සතුව තිබූ වාර්තාවක් වසර 34කට පසුව තමන්ගේම ගෝලයෙක් විසින් සම කිරීමේ විරල අවස්ථාවක් ද වේ. මේ ඒ ගැන ThePapare.com තබන සටහනකි.
>>තෙවැනි කොටසේ පෙරළිකාර වමතා “ජනිත ලක්ෂිත“<<
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර 52 වැනි වරටත් පැවති සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී හොඳම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගනු ලැබුවේ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ චමිඳු අනුෂ්ක ය. වමතින් දඟපන්දු යැවූ චමිඳු අනුෂ්ක තරගයේ දී ලකුණු 131කට කඩුලු 12ක් ලබා ගන්නේ ය. එම දක්ෂතාව ඉහත සම්මානය ලැබීමට ද හේතු වන්නේ ය.
ඊටත් වඩා එය තරග ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව සම කිරීමක් ද වූයේ ය. මීට පෙර මෙම වාර්තාව සතු වූයේ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පී. මිල්ටන් 1985 වසරේ දී ලකුණු 82කට කඩුලු 12ක් ලබා ගනිමින් දැක්වූ දක්ෂතාවයි. පී. මිල්ටන් යනු මේ වන විට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ය.
මෙම තරගයේ දී චමිඳු අනුශ්කගේ පළමු ඉනිමේ දක්ෂතාව වන්නේ පන්දුවාර 20ක් නොඉඳුල් පන්දුවාර 5ක් ලකුණු 52කට කඩුලු 5ක් ය. දෙවැනි ඉනිමේ දක්ෂතාව වන්නේ පන්දුවාර 22.1ක් නොඉඳුල් පන්දුවාරයක් සහ ලකුණු 79කට කඩුලු 7ක් ය. දෙවැනි ඉනිමේ ඔහුගේ පන්දු යැවීම ද තරග ඉතිහාසයේ වාර්තාවක් සම කිරීමක් වන්නේ ය. ඒ ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් පෑ දක්ෂතාවන්ගේ ය. මීට පෙර 1989 වසරේ දී රංජිත් ප්‍රියන්ත ලකුණු 37කට කඩුලු 7ක් ලබා ගනිමින් එකී දක්ෂතාවේ හිමිකරු වී සිටියේ ය.
“අපිට අවශ්‍ය වුණේ මේ තරගය හොඳින් කරන්න. මම ඒ වෙද්දී පාසල් තරගාවලියේ දී කතා බහට ලක්වෙන පන්දු යවන්නෙක් ලෙස අවධානය දිනා සිටියා. මේ නිසා කණ්ඩායමේ ලොකු විශ්වාසයක් තිබුණා මා ගැන. ඒ වගේම මේ නිසාම මටත් විශ්වාසයක් තිබුණා මේ තරගයේ දී මට කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විශ්වාසය සාර්ථක වුනා. මට පළමු ඉනිමේ දී කඩුලු 5ක් ලබා ගන්න හැකි වුනා. දෙවැනි ඉනිමට යන විට මට මිල්ටන් සර් කිවුවා, තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව තාම තියෙන්නේ එයාගෙ නමින් ඒක කඩන්න කියලා. එහෙම කියලා, මට කිවුවා අලුත් පන්දුවෙන් පන්දු යවන්න සූදානම් වෙන්න කියලා. මට එම ඉනිමේ දී කඩුලු 7ක් ලබා ගෙන මිල්ටන් සර්ගෙ වාර්තාව සම කරන්න හැකි වුනා.“ චමිඳු අනුශ්ක පැවැසුවේ ය.
“මගේම ගෝලයෙක් මා විසින් වසර 34කට පෙර තබා තිබූ වාර්තාවක් සම කිරීම ගැන සතුටු වෙනවා. මට ඊටත් වඩා සතුටු වෙන්න පුළුවන් මගේ වාර්තාව බිඳ දැම්මා නම්. මට අවශ්‍ය වුනෙත් ඒක. නමුත් අපිට මෙතැනින් නතර වෙන්න වුනා. කොහොම වුනත් මේ තත්ත්වය යටතේ හෝ මම චමිඳුට සුබ පතනවා, මේ දක්ෂතාව දැක්වීම ගැන. ඔහු ඔහුගේ දක්ෂතාව තමන්ගේ හොඳම තරගයේ දී දැක්වූවා.“ පී. මිල්ටන් මහතා පැවසුවේ ය.
මෙම තරගය චමිඳු අනුෂ්කගේ පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි. ඊට පෙර වසරේ දී ඔහු සුනිල සංග්‍රාමය සමඟ එක්ව සිටියේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසිනි.
“ඉනිම ආරම්භයේ දී ම මම යැවූ පන්දුවකටම මගෙන් උඩ පන්දුවක් ගිලිහෙනවා. ඒක අමතක නොවන දෙයක්. මොකද මම ඒ උඩ පන්දුව රැක ගත්තා නම් සමහර විට මේ වාර්තාව මගේ වෙන්නත් තිබුණා.“ චමිඳු අනුෂ්ක තරගයේ මතකය එළියට ගත්තේ ය. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ප්‍රතිවාදී ඉනිමේ දැවී යන්නේ කඩුලු 8ක් ය. ඉන් කඩුලු 7ක්ම හිමි වෙන්නේ චමිඳු අනුෂ්කට ය. එකී දක්ෂතාව තරග ඉතිහාසයේ තම විද්‍යාලය වෙනුවෙන් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සම කිරීමක් ද වන්නේ ය.
චමිඳු අනුෂ්ක නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරග 16කට සහභාගී වෙමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 75කි. ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 6ක් ඒ අතර වේ. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ මාතර රාහුල විද්‍යාලයට එරෙහිව ලකුණු 53කට ලබා ගත් කඩුලු 7යි.
“චමිඳු ගැන තමයි අපි හැමෝගේම බලාපොරොත්තුව තිබුණේ. ඔහු ඉතා ඉක්මනින් දක්ෂතා අතරට ආව ක්‍රීඩකයෙක්. මට ගොඩක් සපෝට් කළා. ඇත්තටම චමිඳුගේ දක්ෂතාවලට වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී වගේම වාර්ෂික එක්දින තරගයේ දී ද හොඳ පිළිගැනීමක් ලැබුණා. ඔහු නිමා වූ එම තරග දෙකේ දී ම තරගයේ දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානය දිනා ගත්තා. මම හිතන්නේ එක් කලාතුරකින් ක්‍රීඩකයෙකුට ලැබෙන අවස්ථාවක්. මම ඔහුට සුබ පතනවා. ඒ වගේම නායකයා ලෙසින් මා ඇතුළු කණ්ඩායමට ලබා දුන් සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.“ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක සොහාන් ද ලිවේරා පැවසුවේ ය.
බොහෝ ක්‍රීඩකයන් කනිෂ්ඨ කණ්ඩායම්වල සිට ක්‍රිකට් පිටියට පිවිසිය ද චමිඳු අනුෂ්ක එසේ නොවේ. ඔහු ක්‍රිකට් අත් පොත් තබන්නේ උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිටිය දී ය. ඔහුගේ පළමු පුහුණුකරු වන්නේ සුරාජ් සංජීව මහතා ය.
“මම ක්‍රිකට් ගහන්න එන්නේ විකුම් උදාර නිසා. ඔහු ඒ වෙද්දී අපේ පාසල් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. මම නිකං දවසක ඇහුවා මමත් ක්‍රිකට් ගහන්න එන්න ද කියලා. ඔහු ඊට කැමති වෙලා මාව සුරාජ් සර්ට හඳුන්වා දුන්නා. එතැන් සිට මාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් හැඩ ගැස්සුවේ සුරාජ් සර්. ඊට පස්සෙ මිල්ටන් සර් මට ගොඩක් උදව් කළා. ඒ වගේම සහාය පුහුණුකරු සාගර ධනංජය සර් මගේ දක්ෂතාවලට සුවිශේෂ සහයෝගයක් දැක්වූවා. මේ සියලු දෙනාට මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම මට මේ දක්ෂතාව දැක්වීමට මගේ කණ්ඩායමේ සියලුම දෙනා මා වෙත දැක්වූ සහයෝගයටත් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.“ චමිඳු අනුෂ්ක තමන් ක්‍රිකට් පිටියට පිවිසි ආකාරය ගැනත් එහි දී ඔහුට උදව් කළ අය ගැනත් සඳහන් කළේ ඒ ආකාරයට ය.
“චමිඳු බොහෝම දක්ෂ දරුවෙක්. අවාසනාවකට වගේ චමිඳු ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ තමන්ගේ පාසල් කාලයේ අවසන් අවුරුදුවල. ඔහු මීට පෙර ක්‍රිකට් පිටියට පිවිසියා නම් බොහෝ දුර ගිය ක්‍රීඩකයෙක් ලෙසින් අපිට චමිඳු ගැන කතා කරන්න පුළුවන් වෙනවා. නමුත් අපිට දැන් ඒ දේ අහිමි වෙලා තියෙනවා. ඒත් චමිඳුට තවත් බොහෝ දුරක් යා හැකියි. හොඳ ටැලන්ට් එකක් තියෙනවා. චමිඳුට දැන් අවශ්‍ය හොඳ මග පෙන්වීමක්. මම විශ්වාස කරනවා, ඔහුට ක්‍රීඩා සමාජ තරගවලට සහභාගී වෙමින් හොඳ ගමනක් යන්න හැකි වේවි.“ පී. මිල්ටන් මහතා පැවසුවේ ය.
චමිඳු අනුෂ්කගේ ක්‍රිකට් ගමන පමා වීමට නිශ්චිත හේතුවක් නොමැත. ඔහු ද ඒ ගැන යමත් පැවසීමට දන්නේ නැත. ඒ ගැන විමසූ විට ඔහු පවසන්නේ “එහෙම උනන්දුවක් තිබුණෙ නැහැ“ කියන දේ ය. චමිඳු අනුෂ්කගේ පියා සරත් කුමාර මහතා සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවෙකි. මව ගයාත්‍රී දුශාන්ති ගෘහණියක් ලෙස කටයුතු කරන්නී ය. චමිඳු අනුෂ්කගේ පවුලේ අනෙක් සාමාජිකාව වන්නේ සහෝදරිය මල්ෂා නදීශානි ය. ඇය මේ වෙද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන්නී ය.
“ක්‍රිකට් ක්‍රීඩාවට අහම්බෙන් ආවත් ගොඩක් ලොකු ගමනක් යන්න ඕන කියන හැඟීම මොනම මොහොතකවත් ආවෙ නැහැ. ගෙදරින් වුනත් එහෙම ලොකු බලපෑමක් කළේ නැහැ. අදටත් ගෙදරින් එහෙම බලපෑමක් නැහැ. නමුත් දැන් මට ක්‍රිකට් ගැන ඇත්තේ ලොකු විශ්වාසයක්. අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සමව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම ඉදිරි කාලයේ දී හොඳ ක්‍රීඩා සමාජයකට එක් වෙලා මගේ දක්ෂතා තවත් වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.“ චමිඳු අනුශ්ක පැවැසුවේ ය.
චමිඳු අනුෂ්කගේ බලාපොරොත්තු සහගත එම ගමනට ThePapare.com සුබ පැතුම් එක් කරමු.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<