පාසල් මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය සාර්ථකව නිමා වෙයි

All Island Schools Athletics Championship 2024

66
All Island Schools Athletics Championship 2024

2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය අද (20) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. 

තෙවැනි දිනය තුළ ද තවත් තරග වාර්තා කිහිපයක් ම බිඳ වැටීම විශේෂත්වයක්. 

පිරිමි 18න් පහළ මීටර් 200 ඉසව්ව නියෝජනය කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ විමන්ස රාජකරුණා විසින් තත්පර 21.42කින් ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, 16න් පහළ පිරිමි මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය විසින් මිනිත්තු 3.25.53ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. 

මේ අතර ඊයේ (19) දිනයේ දී 16න් පහළ කාන්තා මීටර් 100 ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කළ ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ තරණි නිර්මිණා විසින් අද මීටර් 200 ඉසව්ව තත්පර 25.41කින් නිමා කරමින් තවත් තරග වාර්තාවක් කරා යොමු වීම විශේෂත්වයක්. 

මේ අතරම 18න් පහළ කාන්තා මීටර් 100×4 ඉසව්ව තත්පර 49.03කින් නිම කරමින් මෙන්ම, 20න් පහළ කාන්තා මීටර් 400×4 ඉසව්ව මිනිත්තු 3.53.35ක කාලයකින් නිමා කළ වත්තල ලයිසියම් විද්‍යාලය තවත් තරග වාර්තා ද්විත්වයක් සටහන් කිරීමට සමත් වුනා. 

<<අද දිනය දක්වා තරග ප්‍රතිඵල>>

අද දිනයට නියමිත තරග මෙසේ අවසන් වන අතරේ ශූරතාවලියේ සිව්වැනි දිනය වන හෙට (21) තවත් තරග ඉසව් රැසක් ක්‍රියාත්මක වීමට සූදානම් කර තිබෙනවා. 

ඒ අතර විවිධ වයස් කාණ්ඩවල මීටර් 800 ඉසව් මෙන්ම, මීටර් 110, 100 සහ 80 කඩුලු පැන දිවීමේ ඉසව් ද ඇතුළත්. 

එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<