නව ඉන්දීය තේරීම් කමිටු සභාපතිට වාර්තාගත වැටුපක් හිමිවන ලකුණු

8074

මාස කිහිපයක් හිස්ව තිබූ ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමේ තේරිම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය ක්‍රීඩක Ajit Agarkar පත්කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පසුගිය දා කටයුතු කළා.

මෙම පත්කිරීම පෙර පැවති ක්‍රමය මඟ හරිමින් සිදු කර තිබෙන අතර මෙවර තේරීම් කමිටුව සඳහා එකම කලාපය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති නිසා මෙම තනතුර සඳහා ඉන්දීය හිටපු ක්‍රීඩකයින් වැඩි අවධානයක් ලබා නොදීම සහ ඔවුන් ඉන්දීය පාලකයන් ලබා දෙන වැටුපට අකමැති වීම නිසා පැරණි ක්‍රම මඟ හරිමින් නව කමිටුවක් පත් කිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

තේරීම් කමිටු සභාපතිවරයාට වසරකට ඉන්දීය රුපියල් කෝටියක් සහ අනෙක් සාමාජිකයින්ට ලක්ෂ 90ක මුදලක් හිමි වන නමුත් එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනෙක් තනතුරු සලකා බැලීමේ දී ඉතා අඩු මුදලක් වෙනවා.

නමුත් එය නව සභාපතිවරයා වෙනුවෙන් නිවැරදි කිරීමට ඉන්දීය බලධාරීන් එකඟ වී තිබෙන අතර ඒ අනුව මෑත කාලයේ ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයෙකු ලැබූ ඉහළම වැටුප Ajit Agarkarට හිමිවෙනවා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන හතරක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ඉහළ දායකත්වයක් ලබා දුන් Agarkar 2007 විස්සයි විස්ස ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු ද වනවා.

එමෙන්ම අත්දැකීම් බහුල නිවේදකයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

ඉන්දීය ක්‍රිකට් උපදේශක මණ්ඩලය විසින් ඔහු සමඟ මෙම තනතුර සඳහා සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන අතර එහි දී ඔවුන් විසින් Agarkar හට ඉහළ වැටුපක් ලබා දීමට එකඟ ව තිබෙනවා.

ඔහුගේ වැටුප පිළිබඳ අවසන් තීරණය සිකුරාදා පැවැත්වෙන ඉන්දීය ක්‍රිකට් රැස්වීමකින් පසු ගැනීමට නියමිත බව ද වාර්තා වෙනවා.

සිය තනතුර භාර ගැනීමෙන් පසු Agarkar ප්‍රමුඛ තේරීම් කමිටුව ඉන්දීය විස්සයි විස්ස සංචිතය නම් කළ අතර ඒ සඳහා නවක ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කර තිබීම ද කැපී පෙනුණා.

එම සංචිතය සඳහා ප්‍රබල ක්‍රීඩකයින් වන Rohit Sharma සහ  Virat Kohli ද ඇතුළත් නොකිරීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර ඉන්දීය කණ්ඩායම අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දීයි.

මෙම නව සංචිතය සඳහා Yashasvi Jaiswal, Tilak Varma සහ Ravi Bishnoi වැනි ක්‍රීඩකයින් ඇතුළත් වන අතර Ravindra Jadeja හට ද එම සංචිතයේ ඉඩක් හිමිව නැහැ.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<