ඉන්දියාවට ටෙස්ට් ලෝක ශූරතාව අහිමි වුනේ IPL නිසා ද

WTC Final 2023

4119
WTC Final 2023

ඉන්දියාවට එරෙහිව ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව විසින් ඊයේ (11) නව ටෙස්ට් ලෝක ශූරයින් බවට පත් වීමට සමත් වුනා.

තරගයේ අවසන් දිනය වූ ඊයේ උදෑසන සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 3කට ලකුණු 164ක් ලබා සිටි අතර තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔවුන්ට තවත් ලකුණු 280ක් ලබා ගත යුතු ව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ දිනය ආරම්භය ඉන්දියාවට එතරම් ම යහපත් එකක් වුනේ නැහැ. තරගය ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් පිටියට පිවිසි ඉන්දියාව අඩු ම තරමේ ලකුණු 250 සීමාව හෝ පසු කර යාමට සමත් වුනේ නැහැ.

ඒ අනුව ඉන්දීය දෙවන ඉනිම ලකුණු 234කට නිමා වුනේ ඕස්ට්‍රේලියාවට ලකුණු 209ක දැවැන්ත ජයග්‍රහණයක් අත් පත් කර දෙමිනුයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව ICC විසින් සංවිධානය කළ සියලු තරගාවලි ජයග්‍රහණය කිරීමට සමත් වූ ලොව පළමු සහ එකම කණ්ඩායම බවට පත් වීමට ද ඊයේ දිනයේ සමත් වුනා.

එමෙන්ම අනෙක් පසින් මෙය ඉන්දියාව විසින් නොකඩවා දෙවැනි වරටත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයක් පරාජය වූ අවස්ථාව ලෙසයි ඉතිහාස ගත වුනේ. මීට පෙර ඔවුන් Virat Kohliගේ නායකත්වය යටතේ නවසීලන්තය හමුවේ කඩුලු 8ක අමිහිරි පරාජයක් උරුම කර ගත්තා.

එමෙන්ම 2013 ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ICC තරගාවලි කිහිපයක ම අවසන් තරග සහ අවසන් පූර්ව වටය තෙක් පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් වුව ද ඒ කිසිවක් ජයග්‍රහණය කරමින් ශූරතාවක් දිනා ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

මේ නිසා ඊයේ ලද පරාජයෙන් පසුව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, වෘත්තීය ක්‍රිකට් විස්තර විචාරකයින් සහ ක්‍රිකට් රසිකයින් බොහෝ දෙනෙකු විසින් ඉන්දීය ක්‍රිකට් පිළිබඳ දැඩි කතාබහකට අවතීර්ණ වී තිබෙනවා.

මෙම සංවාද අතරේ ඊයේ තරගයෙන් අනතුරුව හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Sunil Gavaskar විසින් Virat Kohli ඊයේ දිනය ආරම්භයේ ම දුර්වල පහරක් එල්ල කරමින් දැවී යාම විවේචනය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

එමෙන්ම තවත් හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන Ravi Shastri විසින් ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් සියල්ලන් ම පාහේ දුර්වල පහර එල්ල කරමින් දැවී ගිය බව පවසනවා. එමෙන්ම ඔහු විශේෂයෙන්ම සඳහන් කරන්නේ ක්‍රීඩකයින්ට IPL හෝ මෙවැනි වැදගත් තරගයක් යන දෙකෙන් එකක් ඉදිරියේ දී තෝරා ගැනීමට සිදු වන බවයි.

“අපි යථාර්ථවාදී වෙමු. ඔබ දවස් 20ක් ගත්තොත් (මෙවැනි තරගයකට සූදානම් වීම වෙනුවෙන්) ඔබට IPL තරගාවලිය මග හැරෙනවා. තීරණය ඔබේ!”

IPL තරගාවලිය නිසා මෙම අවසන් මහා තරගය සඳහා සූදානම් වීමට ඉන්දීය ක්‍රීඩකයින්ට සතියක පමණ කාලයක ඉඩක් පමණයි ඉතිරි වුනේ. මේ පිළිබඳ ව BCCI විසින් අනාගතයේ දී සිය අවධානය යොමු කළ යුතු බවයි Shastri විසින් පවසන්නේ.

එමෙන්ම වත්මන් ඉන්දීය පුහුණුකරු වන Rahul Dravid විසින් ද දරන්නේ මේ හා සමාන අදහසක්.

“මම පුහුණුකරුවෙක් විදිහට කොහොමවත් සූදානම් වීම ගැන සතුටු වෙන්නේ නැහැ. නමුත් ඒ තමයි යථාර්ථය, මම ඒක පිළිගන්න සූදානම්. අපි හැමෝටම ඒක පිළිගන්න සිදු වෙනවා. අපේ කාලසටහන ඉතා පටුයි සහ තදයි.”

සති තුනකට පමණ පෙර තරගාවලිය වෙනුවෙන් සූදානම් වීම ආරම්භ කිරීමට හැකි නම් එය ඉතා වටිනා බවයි Dravid විසින් පවසන්නේ. නමුත් ප්‍රායෝගික ව එය සිදු කිරීම අපහසු කටයුත්තක් බවත් ඔහු විසින් පිළිගන්නවා.

ඉන්දීය නායක Rohit Sharma විසින් ද මෙම පරාජය පිළිබඳ දරන්නේ එවැනි ම මතයක්.

“මේ වගේ අවසන් තරගයකට පෙර ඔබට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න ලොකු කාලයක් අවශ්‍යයි.

පන්දු යවන්නන්ට අවශ්‍ය තරම් විවේකය ලබා දිය යුතුයි. ඔව් මෙවැනි තරගයකට සූදානම් වීම සඳහා අපට දින 20-25ක් තියෙනවා නම් මම කැමතියි.”

එමෙන්ම Rohit විසින් මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළේ මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වුණු තරගාවලියක ජයග්‍රාහකයා තීරණය කිරීමට තරග තුනකින් සමන්විත තරගාවලියක් පැවැත්වීය යුතු බවයි.

මේ අතර ඊයේ ඉන්දියාව ලද පරාජයෙන් පසු Twitter හි සඳහන් වූ ප්‍රකාශ කිහිපයක් පහතින් දැක්වෙනවා.

Saurav Ganguly කියනවා ‘ 2013 වෙනකම් MS Dhoniගේ නායකත්වය යටතේ විනයක් සහිත කණ්ඩායමක් අපට හිටියා. එක වරම පුහුණුකරු/කළමනාකරු ඉන්දීය ක්‍රිකට් වලට සාද සංස්කෘතියක් ගෙනාවා. එතැනින් පසුව කිසිම ICC කුසලානයක් ජයග්‍රහණය කළේ නැහැ.’ කියලා.”

“Rohitට IPL ශූරතා 5ක් තියෙන නිසා ඔහුව නායකයා කරන්න. හිතලා බලන්න ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් වල මොනවා කරාවි ද කියලා.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<