ලොව වේගවත්ම මිනිසා ලෙස කෙටිදුර ධාවන පිටියේ දශකයකට පමණ කාලයක් ආධිපත්‍ය පැතිර වූ ජැමෙයිකානු ක්‍රීඩක Usain Boltගේ සමුගැනීමෙන් පසු කෙටිදුර ධාවනයේ කිරුළ වෙනුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කරට කර සටනක නිරත වනු දක්නට ලැබුණි.
ඒ අතරින් මීටර් 100 ඉසව්වේ සුපිරි දස්කම් දක්වමින් 2019 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරතාව ද දිනා ගනිමින් සහ ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ මීටර් 60 ලෝක වාර්තාව ද තමන් සතු කරගනිමින් වත්මන් ලොව වේගවත්ම මිනිසා යන අන්වර්ථ නාමය දිනා ගැනීමට ඇමරිකානු ක්‍රීඩක Christian Coleman සමත් විය.
ඒ නිසාවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ඔහු විසින් පහසුවෙන්ම ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන්නට වූවත්, පසුගිය දා ඔහුට වසර දෙකක තරග තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය කටයුතු කරන්නට විය.
එම තහනමත් සමඟින් ඔහුට 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට තිබූ අවස්ථාව අහිමි වීම නිසාවෙන් ඔලිම්පික් උළෙලේ මීටර් 100 කිරුළ දිනා ගැනීමට ඉඩකඩක් ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත.
Noah Lyles – USA
23 වැනි වියේ පසුවන Noah Lyles මෙම වයස් සීමාවේ දී Usain Bolt දැක්වූ දස්කම්වලට වඩා ඉදිරියෙන් සිටිමින් දස්කම් දැක්වීමට සමත්වෙමින් Bolt විසින් පිහිටවූ වාර්තා රැසක් ද බිඳ හෙළීමට සමත් විය.
මීටර් 200 ඉසව්වේ වත්මන් ලෝක ශූරයා ද වන Lyles මීටර් 300 ඉසව්වේ ලෝක වාර්තාවට ද (තත්පර 31:87) හිමිකම් කියන අතර Shanghai ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ දී Coleman පරාජය කිරීමට ද සමත් විය.
එම තරගය තත්පර 9.86ක කාලයකින් අවසන් කරමින් මීටර් 100 ඉසව්වේ සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට ඔහු සමත් වූ නමුත් ඉන් පසුව මීටර් 100 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත්වූයේ නැත.
එනමුත් මීටර් 200 ඉසව්වේ නිරන්තරයෙන්ම දස්කම් අතර සිටි Lyles මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.04ක කාලයකින් අවසන් කරමින් වසරේ නවවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් විය.
එම නිසාවෙන් Christian Colemanගේ තහනමත් සමඟින් ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව Noah Lyles ජය ගැනීමට ද බොහෝ ඉඩක් ඇත.
Michael Norman- USA
ඇමරිකාව නියෝජනය කරන මීටර් 400 ශූර Michael Norman එම ඉසව්වට අමතරව මීටර් 100 සහ 200 ඉසව්වන්ගේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇත.
2016 වසරේ පැවති ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 200 සහ මීටර් 100 සහය දිවීමේ ඉසව්වන්හී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ Michael Norman මෙම වසරේ පැවති දේශීය තරගාවලියක් අතරතුර දී මීටර් 100 ඉසව්ව තත්පර 9.86ක කාලයකින් අවසන් කරමින් වසරේ වේගවත්ම කාලය මෙන්ම පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට ද ඔශු සමත් විය.
එනමුත් ඔහුගේ ප්‍රධාන ඉසව්ව වන මීටර් 400 ඉසව්වට වැඩි අවධානයක් යොමු කිරීමට ඇති නිසාවෙන් ඔහු බොහෝ දුරට ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්ව සඳහා තරග නොකරනු ඇත.
Trayvon Bromell-USA
යොවුන් වියේ සිටම කෙටිදුර ධාවන පථයේ දස්කම් දැක්වීමට සමත් වූ 25 හැවිරිදි Trayvon Bromell 2014 වසරේ මීටර් 100 ඉසව්ව තත්පර 9.97ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට ද සමත් විය.
පසුව 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ Trayvon Bromell ඇමරිකානු ඔලිම්පික් තේරීම් තරගවල දී මීටර් 100 ඉසව්ව තත්පර 9.84ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට ද සමත් විය.
2016 ඔලිම්පික් උළෙලේ ද මීටර් 100 අවසන් වටයට තේරී පත්වීමට සමත් වූ Bromell හට ආබාධයක් නිසාවෙන් කෙටි කලක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ අතර මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 9.90ක කාලයකින් අවසන් කරමින් වසරේ දෙවන වේගවත්ම කාලය වාර්තා කිරීමට Bromellට හැකි විය.
නැවතත් සිය සුපුරුදු රිද්මයේ සිටින Trayvon Bromell ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගැනීමට ද වැඩි ඉඩකඩක් ඇත.
තවත් විශේෂාංග ලිපි:
- විචාරකයන්ටත් අමතක වූ ඔලිම්පික් වාර්තාවේ හිමිකාරිය
- දිගුදුර ධාවන පිටියේ බිහි වූ හොඳම ක්‍රීඩකයා කවුරු ද?
- පරාජයෙන් ගෞරවය ලැබූ දිගුදුර ශූරිය
- දකුණු ආසියාවම සියතට ගත් පන්නල ශූරයා
- ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ ද ඔල්වරසන් මැදින් රන් දිනූ කෙටිදුර වීරයා
Justin Gatlin-USA
හිටපු මීටර් 100 සහ 200 ලෝක ශූරයෙකු වෙන ඇමරිකානු ක්‍රීඩක Justin Gatlin ලොව වේගවත්ම ක්‍රීඩකයා වූ Usain Bolt හට සිටි හොඳම ප්‍රතිවාදියා ලෙස ද හැදින්විය හැකි අතර වර්තමාන කෙටිදුර පිටියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා ලෙස ද Gatlin හැදින්විය හැක.
ක්‍රීඩා දිවියේ මුල් අවධියේම තහනම් උත්තේජක චෝදනා නිසාවෙන් දඬුවම් විඳී Gatlin 2004 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ සහ 2005 ලෝක ශූරතාවයේ මීටර් 100 සහ 200 ඉසව් ජය ගැනීමට සමත් වූ අතර පසුව නැවත වරක් 2006 වසරේ දී තහනම් උත්තේජක නිසාවෙන් තහනමට ලක් විය.
තහනම නිමා වීමෙන් පසු 100m ඉසව්ව තත්පර 9:74කින් ද, 200m ඉසව්ව තත්පර 19:57කින් ද අවසන් කරමින් එම ඉසව් සඳහා තම හොඳම දක්ෂතා වාර්තා කිරීමට සමත් වූ Gatlin 2017 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී Usain Bolt පරාජය කිරීමට සමත් වීම ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙනම සිදු වීම ලෙස හැඳින්විය හැක.
එමෙන්ම 2016 වසරේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 රිදී පදක්කම දිනා ගත් Gatlin අවසන් වරට පැවති 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී Christian Coleman හට පමණක් දෙවැනි වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් විය.
2021 ඔලිම්පික් උළෙල වන විට Gatlinගේ වයස පිළිබඳව යම් ගැටලුවක් පැනනැගුනත් ඔහුගේ ඇති දැඩි කැපවීම සහ ධෛර්යය නිසාවෙන් මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව Gatlin විසින් ජය ගැනීමට විශාල සම්භාවිතාවක් ඇත.
Akani Simbine-South Africa
26 වැනි වියේ පසුවන මලල ක්‍රීඩක Akani Simbine මීටර් 100 දකුණු අප්‍රිකානු වාර්තාවට ද හිමිකම් කියන අතර 2016 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කිරීමට ද ඔහු සමත් විය.
100m ඉසව්ව තත්පර 9:89ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා සිය හොදම පෞද්ගලික දක්ෂතාවය දක්වා ඇති ඔහු, 2017 පැවති දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී සහ 2019 ලන්ඩන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ 100m ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.
එමෙන්ම 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් කිරීමට ද සමත් වූ Simbine මෙම වසර තුළ දී එම ඉසව්ව තත්පර 9.91ක කාලයකින් අවසන් කරමින් වසරේ තෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ද සමත් විය.
මේ වන විට සිය ක්‍රීඩා දිවියේ ඉහළ රිද්මයක පසුවන Akani Simbine ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගැනීමට ද ඉඩකඩක් ඇත.
Andre De Grasse- Canada
මීටර් 100 සහ 200 ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක ශූරයෙකු වන කැනේඩියානු ක්‍රීඩක Andre De Grasse වර්තමාන කෙටි දුර ධාවන පිටියේ සිටින කැපී පෙනෙන දස්කම් දක්වන දක්ෂ ක්‍රීඩකයෙකි.
2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2016 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම සහ මීටර් 200 ඉසව්වේ Usain Bolt හට පමණක් දෙවැනි වෙමින් රිදී පදක්කම ද දිනා ගැනීමට ඔහු සමත් විය.
ඉන්පසු ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව සිටි Andre නැවතත් පිටියට පැමිණීමෙන් පසු 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 ඉසව්ව තත්පර 9.90ක කාලයකින් අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය සමඟින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ ඔහු මීටර් 200 රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් විය.
පසුව මෙම වසරේ මීටර් 100 ඉසව්ව තත්පර 9.97ක කාලයකින් අවසන් කරමින් වසරේ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූ Andre De Grasse ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලෙ මීටර් 100 ඉසව්ව ජය ගැනීමට ඉඩක් ඇති ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම සිටී.
මෙම ක්‍රීඩකයන්ට අමතරව වර්තමාන ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන Ronnie Baker, Julian Forte වැනි ක්‍රීඩකයන් මෙන්ම ආබාධ නිසාවෙන් තරමක පසුබෑමකට ලක්වූ ඔලිම්පික් පදක්කම්ලාභී Yohan Blake වැනි ක්‍රීඩකයන් ද ඔලිම්පික් කිරුළ සඳහා සිය උපරිමයෙන් සටන් වැදීමට සූදානමින් පසු වේ.
එම නිසා අනාවැකි පල කිරීමට නොහැකි ඉතා අවිනිශ්චිත ඉසව්වක් වන මීටර් 100 ඉසව්වේ මීළඟ ඔලිම්පික් කිරුළ හිමිකර ගැනීමට සමත් වන ක්‍රීඩකයා කවුරුන් දැයි ලොව පුරා ප්‍රේක්ෂකයන් අවධානයෙන් පසු වේ.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<