සොනාල් විශිෂ්ට ශතකයකින් දිනය සරසයි!

Afghanistan A Tour of Sri Lanka 2024

84

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් අද (11) සමත් වුනා.

අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක පසිඳු සූරියබණ්ඩාර සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් ලෙස ඕෂධ ප්‍රනාන්දු සහ ලහිරු උදාර ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.

ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඕෂධගේ ඉනිම ලකුණු 32කට සීමා වීමත් සමඟ එම සබඳතාව නිමා වුනා. මේ අතර ලහිරු උදාර පන්දු 67ක් පමණක් වැය කරමින් ඉක්මන් ලකුණු 65ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් ම ලකුණු 106ක් තුළ බිඳ දැමීමට ඇෆ්ගන් පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මේ මොහොතේ කඩුල්ලට පිවිසි සොනාල් දිනූශ විශිෂ්ට ඉනිමකට ආරම්භය ලබා ගත්තා. ඔහු සහ විශාද් රන්දික විසින් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, විශාද්ගේ පිත්තෙන් ඊට ලකුණු 63ක් එක් වුනා. කෙසේ වෙතත් විශාද්ගේ දැවී යාමෙන් අනතුරුව ද සොනාල් සිය ඉනිම නොකඩවා රැගෙන ගිය අතර, පසු පෙළ පිතිකරුවකු ලෙස වනුජ සහන්ගෙන් ද ඔහුට වටිනා දායකත්වයක් හිමි වුනා.

ඔවුන් දෙදෙනා විසින් අද දිනයට තරගය නතර කරන තෙක් ම කඩුල්ලේ රැඳෙමින් ඉනිමේ 08 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කිරීමට සමත් වූ අතර, දිනය නිමා වන විට වනුජ ලකුණු 34ක් ලබා සිටියා.

මේ අතර අගනා ඉනිමක් දියත් කරමින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ සොනාල් දිනූශ දිනය නිමා වන විට පන්දු 178ක් තුළ ලකුණු 126ක් වාර්තා කිරීමට සමත් වී සිටියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් අන්තර්ගත වුනා.

පළමු දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 7කට ලකුණු 372ක් ලෙස සටහන් වී තිබුණා.

ශ්‍රී ලංකා A – 372/7 (87) සොනාල් දිනූශ 126*, ලහිරු උදාර 65, විශාද් රන්දික 63, Zia-ur-Rehman 3/115, Naveed Zadran 2/52

පළමු දිනයට තරගය නතර කළා.

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<