ශ්‍රී ලංකා පාපන්දුවට විශිෂ්ට ජයක්!

AFC Qualifiers 2024

1
Afc qualifiers 2024 Sri lanka vs Cambodia

AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන Qualifiers තරග අතුරින් කාම්බෝජය සමඟ පැවැත්වුණු දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (10) සමත් වුනා.

කාම්බෝජය සහ ශ්‍රී ලංකාව පසුගිය 05 වැනි දා මෙහි පළමු තරගය ක්‍රීඩා කළ අතර, එය ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වූ නිසා, ඊයේ ක්‍රියාත්මක වූ දෙවැනි තරග සමස්ත ප්‍රතිඵලය තීරණය කරනා තරගය බවට ද පත් වුනා.

මෙම තරගයේ ආරම්භයේ පටන් දෙපිළෙන් ම ඉතා හොඳ කරට කර තරගයක් නිර්මාණය වූ අතර, එහි දී පළමුවෙන් සාර්ථක වීමට ශ්‍රී ලංකාව සමත් වුනේ තරගයේ 37 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

තරගයේ පළමු අර්ධය තුළ කාම්බෝජය ගෝල වාර්තා කිරීමට සමත් නොවූ නමුත්, ඔවුන් දෙවැනි අර්ධයේ දී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සමඟින් පැමිණෙමින් තරගයේ වාතාවරණය වෙනස් කිරීමට සමත් වුනා.

මෙහි දී කාම්බෝජ ක්‍රීඩක Sosidan Nhean තරගයේ 50 වැනි මිනිත්තුව තුළ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ අතිරේක කාලයේ 08 වැනි මිනිත්තුවේ දී ඔවුන් දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ අවසන් තත්පරය තෙක් තරගය අත් නොහැරි ශ්‍රී ලංකාව වෙනුවෙන් Claudio Mathias විසින් 122වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කරමින් තරග සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

මේ අනුව තරගයේ තීරණය දඬුවම් පහර මගින් තීරණය කිරීමට සිදු වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා විසින් කාම්බෝජයේ පළමු දඬුවම් පහර අවස්ථා දෙකම ව්‍යර්ථ කිරීමට සමත් වුනා. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් Jack Hingert, Oliver Kelaart, Sam Durrant සහ Leon Perera යන සිව්දෙනාම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූ නිසා 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් උරුම වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ම ශ්‍රී ලංකාව 2025 AFC ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් උදා කර ගැනීමට සමත් වුනා.

දෙස්, විදෙස් පාපන්දු පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<