නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුවා.
ඕමාන් Al Amarat හී අද (25) පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 137ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ මීට පෙර පැවැති බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව ක්‍රීඩා පිටියට පිවිසෙමින් ජයග්‍රහණය කළ කණ්ඩායම ම පිටියට කැඳවමිනුයි.
ශ්‍රී ලංකා A කණ්ඩායම
නුවනිඳු ප්‍රනාන්දු (නායක), යශෝධ ලංකා, ලහිරු උදාර (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, දුශාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, එශාන් මාලිංග.
පාකිස්තාන A කණ්ඩායම
Mohammad Haris (නායක සහ කඩුලු රකින්නා), Omair Yousuf, Yasir Khan, Qasim Akram, Haider Ali, Arafat Minhas, Abdul Samad, Abbas Afridi, Mohammad Imran, Sufiyan Muqeem, Shahnawaz Dahani.
කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගනිමින් පිටියට පිවිසි අතර එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 45ක් වෙද්දි දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවා.
කෙසේ වෙතත් සිව් වැනි කඩුල්ල සඳහා පන්දු 40ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට Omair Yousuf සහ Haider Ali සමත් වුනා. ඔවුන් දෙදෙනා අතුරින් Haider Ali පන්දු 15ක දී ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.
Omair Yousuf පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටිය දී 7 වැනි කඩුල්ලට දැවී ගියා.
ඊට අමතර ව පාකිස්තාන ඉනිමට Mohammad Imran පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද සහ Arafat Minhas පන්දු 8ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අනෙකුත් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ. එහි දී ප්රමුඛ කාර්යයක් සිදු කළේ දුශාන් හේමන්ත. ඔහු ලකුණු 21කට කඩුලු 4ක් දවා ගන්නවා.
ඊට අමතර ව නිපුන් රංසික සහ එශාන් මාලිංග කඩුලු 2ක් බැගින් දවා ගත්තා.
- වයස්ගත ම නායිකාවගේ ලෝක ශූර මෙහෙයුම
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි
- ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පසු බසී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පාකිස්තාන ඉලක්කය පන්දු 21ක් ඉතිරිව ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඔවුන් පළමු Power Play අවස්ථාවේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 67ක් එක් කර ගැනීම කැපී පෙණුණා.
එහි දී පළමු කඩුල්ල ලෙසින් යශෝධ ලංකා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව 2 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 64ක් ලබා ගැනීමට ලහිරු උදාර සහ අහන් වික්‍රමසිංහ සමත් වුනා. ලහිරු උදාර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා ගනිමින් සිටිය දී දැවී යැමත් සමඟින් එම සබඳතාව බිඳී ගියා.
අනතුරු ව පිටියට පිවිසි නායක නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 9කට දැවී යනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබන විට අහන් වික්‍රමසිංහ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර අනෙක් අන්තරයෙන් පන්දු 16කට හතරේ පහරක් සමඟින් නොදැවී 17ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Sufiyan Muqeem සහ Abbas Afridi කඩුල්ල බැඟින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තාන A කණ්ඩායම – කඩුලු 9ක් දැවී 135 (20.0) Omair Yousuf 68, Haider Ali 14, නිපුන් රන්සික 2/21, එශාන් මාලිංග 2/28, දුශාන් හේමන්ත 4/21
ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 3ක් දැවී 137 (16.3) ලහිරු උදාර 43, අහන් වික්‍රමසිංහ නොදැවී 53, සහන් ආරච්චිගේ නොදැවී 17, Abbas Afridi 1/16
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
තරගයේ වීරයා – දුශාන් හේමන්ත (ශ්‍රී ලංකාව)
මෙම තරගයේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර එම තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.
නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<