ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

ACC Emerging Teams Asia Cup 2024

81
ACC Emerging Teams Asia Cup 2024

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගාවලියේ අවසන් පූර්ව වටයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඕමාන් Al Amarat හී අද පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ A කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 142ක් පමණයි.

අද ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ මීට පෙර පැවැති හොංකොං කණ්ඩායමට එරෙහි ව ක්‍රීඩා පිටියට පිවිසෙමින් ජයග්‍රහණය කළ කණ්ඩායම ම පිටියට කැඳවමිනුයි.

ශ්‍රී ලංකා A කණ්ඩායම

 

නුවනිඳු ප්‍රනාන්දු (නායක), යශෝධ ලංකා, ලහිරු උදාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, අහන් වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, එශාන් මාලිංග.

බංග්ලාදේශ A කණ්ඩායම

 

Parvez Hossain Emon, Mohammad Naim, Saif Hassan, Towhid Hridoy, Akbar Ali (නායක සහ කඩුලු රකින්නා), Shamim Hossain, Mahfuzur Rahman Rabby, Abu Hider, Rakibul Hasan, Rejaur Rahman Raja, Ripon Mondol.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව ඉනිම ආරම්භ කරන්නේ යශෝධ ලංකා සහ ලහිරු උදාර විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගුවා.

පළමු කඩුල්ල ලෙසින් යශෝධ ලංකා කඩුල්ල අහිමි කර ගනිද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.

අනතුරු ව ලහිරු උදාර ද පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ලට දැවී යනවා.

ඔවුන් දෙදෙනා ගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා වෙන්නේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක සහ සහන් ආරච්චිගේ එක් ව ගොඩනැගූ ලකුණු 64ක සබඳතාවයි. එම කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙනවා.

ඊට අමතර ව පිතිකරුවන් අතුරින් සහන් ආරච්චිගේ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් රැස් කරද්දී නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Rejaur Rahman Raja සහ Ripon Mondol කඩුලු 2 බැගින් දවා ගනිද්දී Saif Hassan සහ Mahfuzur Rahman Rabby කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 162ක හඹා යන ඉලක්කයක් සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 22ක දී වේගවත් ලකුණු 41ක් එක් කරමින් කදිම ආරම්භයක් ලබා ගැනීමට Saif Hassan සහ Parvez Hossain Emon සමත් වුනා. ඔවුන් දෙදෙනා අතුරින් Parvez Hossain Emon පන්දු 10ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතවා බිඳී ගියා.

අනතුරු ව ඉනිමට තවත් ලකුණු 18ක් එක් වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු Saif Hassan ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.

මේ හේතුවෙන් බංග්ලාදේශයේ ප්‍රහාරාත්මක වේගය බාල වී ගිය අතර එතැන් සිට ඉනිම ගොඩ ගැනීමට ඔවුන්ට තරමක ආයාසයක් දරන්නට සිදු වුනා. ඒ අනුව කඩුලු 2කට ලකුණු 70ක් ව තිබූ ඔවුන්ගේ ඉනිම ඉන් අනතුරු ව යැවුණ පන්දු 49ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් බවට පත් වුනා. ඉන් අනතුරු ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක දී නොදැවුණ ලකුණු 25ක් එක් කිරීමට Abu Hider සහ Rejaur Rahman Raja (5*) සමත් වුනා.

එහි දී පෙරමුණ ගත්තේ Abu Hider. අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු තරගය නිමා වන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.

කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 23ක් අවශ්‍ය වූවත් එශාන් මාලිංග විසින් යැවුණ එම පන්දුවාරය ලකුණු 3කට සීමා කිරීමට ඔහු සමත් වෙනවා.

බංග්ලාදේශ ඉනිම පාලනය කිරීමේ දී වැඩි දායකත්වයක් දැක් වූයේ දුශාන් හේමන්ත. ඔහු  ලකුණු  23කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, එශාන් මාලිංග, නිපුන් රන්සික සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 161 (20.0) යශෝධ ලංකා 23, ලහිරු උදාර 35, නුවනිඳු ප්‍රනාන්දු 19, සහන් ආරච්චිගේ 30, පවන් රත්නායක 42, Ripon Mondol 2/36, Rejaur Rahman Raja 2/35

 

බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 142 (20.0) Saif Hassan 29, Parvez Hossain Emon 24, Abu Hider නොදැවී 38, දුශාන් හේමන්ත 3/23

 

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

තරගයේ වීරයා – දුශාන් හේමන්ත (ශ්‍රී ලංකාව)

මෙම තරගයේ නිමාවත් සමඟින් ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් පෙරමුණ ගත් අතර ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා. මෙම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායම බවට පත් වූයේ ඇෆ්ගනිස්තානයයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග ද්විත්වය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<