නම් දැරූ ඇෆ්ගන් පුහුණුකරුවෙකුට ක්‍රිකට් පිටිය තහනම් කරයි

389

තරග පාවාදෙන මෙන් ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හට බලපෑම් කිරීමේ වරදට හසු වූ එරට නම් දැරූ පුහුණුකරුවෙකු වන නූර් මොහොමඩ් ලලායි වෙත වසර පහක ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

Shpageeza ක්‍රිකට් ලීගයේ අවසන් අදියරේ තරගයකට පෙරාතුව මෙලෙස ඔහු එම ක්‍රීඩකයා සමඟ සම්බන්ධ වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ. එහි දී අදාළ පුහුණුකරු විසින් තරග කිහිපයක් නම් කරමින් අවස්ථානුකුලව එම තරග පාවා දෙන මෙන් තමන් ඉදිරියේ බැගෑපත්ව ඉල්ලා සිටි බව  වරදට පොළඹවා ගැනීමට උත්සාහ දැරූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයා සඳහන්කොට තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ඊයේ (07) දිනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයෙහි දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු සයිඩ් අන්වර් ෂා කුරෙයිෂි මහතා ප්‍රකාශ කර සිටියේ දේශීය ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු විසින් ප්‍රධාන පෙළේ තරගාවලියක දී මෙවැනි කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක නිරත වීම කනගාටුවට කරුණක් බවයි.

“එම ක්‍රීඩකයා අදාළ සිදුවීම සාර්ථකව හසුරවපු ආකාරය ඇත්තටම ප්‍රශංසනීයයි. ඔහු නියම වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදිහට තමන්ගේ වපසරිය ඇතුලේ ඉඳගෙන කටයුතු කිරීම ඇගයීමට ලක් කරන්න ඕන. වරදට හසුවුනු පුහුණුකරු ගෙන ආපු අයුතු යෝජනාව ගැන දැනගන්න ලැබුණු වහාම ඒ ගැන කරුණු අපිට ලබා දෙන්න තරම් ඔහු අවංකභාවයෙන්  කටයුතු කළා. ඒ වගේම අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නත්, පරීක්ෂණ කටයුතු කරගෙන යන්නත් ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

තමන් අදාළ චෝදනාවන්ට වරදකරු බවට පිළිගන්නා බව පැවති නඩු විභාගය අතරතුර දී නූර් ලලායි මහතා පිළිගැනීමත් සමඟ ඊට අදාළව නිසි දඬුවම් පමුණවීමට එරට ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<