පසුගිය ඉරිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේ දී ශ්‍රී ලාංකිකයින් සිය ගණනකට මරු කැඳවමින් එල්ල කරනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ශක්තිමත්ව නොසැලී සිටින්නැයි පවසමින් ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය දැක්වීමට සර් විවියන් රිචඩ්ස්ගේ සිට වී.වී.එස්. ලක්‍ෂ්මන් දක්වා ලෝක ක්‍රිකට් ප්‍රජාව පෙරමුණ ගත් ආකාරය අපට දක්නට ලැබුණි.
මෙම ප්‍රහාරයට හසු වූ බොහෝ දෙනා පාස්කු සමරමින් සිටි අය වුවත් අනෙක් ආගම් අදහන්නන් ද මෙම ප්‍රහාරයට ගොදුරු වූ අතර සමස්තයක් ලෙස මෙම ප්‍රහාරය රටේ ඉදිරි ගමනට එල්ල වූ විශාල ප්‍රහාරයක් වන බව නොඅනුමාන ය. ඒ අනුව රටේ ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ද මෙම ප්‍රහාරය හරහා එල්ල වූ බලපෑම සුළු කොට තැකිය නොහැක.
>>එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්
මෙවන් ත්‍රස්ත ක්‍රියා නිසා පීඩා විඳි පාකිස්තානයට ඒ හේතුවෙන් පසුගිය වසර 10ක කාලය පුරාවට තම රට තුළ ක්‍රිකට් තරගාවලියක් හෝ පවත්වා ගැනීමට නොහැකි විය. එමෙන්ම මෙහි දී සිහිවන තවත් කරුණක් නම් 2010 වසරේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ තරගාවලි පැවැත්වීම සඳහා තෝරාගත් රට ශ්‍රී ලංකාව වීමයි.
ඒ අනුව පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ලොව පළමු උදාසීන ටෙස්ට් තරගය පැවැත්වීම ද සිදු වූ නමුත් එම තරගාවලි සංවිධානය කිරීමේ දී පැන නඟින විවිධ සංකීර්ණතා නිසා පාකිස්තානයේ තරගාවලි දිගටම මෙරට පැවැත්වීම සිදු නොවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය 2010 වසරේ සිට ඔවුන්ගේ තරගාවලි පැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යොමු විය.
එමෙන්ම ඉන්දියාවේ මේ වන විට පැවැත්වෙන මහා මැතිවරණ කටයුතු හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් කොළඹ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පසුගිය වසරේ සාකච්ඡා ද පැවැත්විය.
ඒ අනුව පසුගිය වසර කිහිපය පුරාවටම ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට ආරක්‍ෂිත ගමනාන්තයක් ලෙස සැලකුණු ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති ආරක්‍ෂක තත්වය හේතුවෙන් ඉදිරියේ දී අනෙක් රටවල් මෙරට සංචාරය කිරීමට ප්‍රතික්‍ෂේප කළහොත් එය ශ්‍රී ලංකාවේ නාමයට විශාල කැළලක් වනු ඇති බව නොඅනුමාන ය.
ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මීට පෙර වසර 5කටත් අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් හෝ පැවැත්වීමට නොහැකි වූ අවස්ථාවන් ඉතිහාසයෙන් අපට මතක් කර ගත හැක. ඒ අනුව 1987 වසරේ අප්‍රේල් මාසයේ සිට 1992 වසරේ අගෝස්තු මාසය දක්වා කිසිදු විදේශීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය නොකළ අතර ඒ හේතුවෙන් ඇතිවූ අවස්ථාවන් සහ නිරාවරණය අඩුකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවූ පසුබෑම සුළුපට නොවේ. ඒ නිසා එවන් තත්වයක් නැවත ශ්‍රී ලංකාවට උදා නොවේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා හබරණ දී සහ දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අධි තීව්‍රතාවයකින් යුතු පුහුණු සැසි දෙකක් ද අවලංගු කිරීමට සිදුවීම ඉදිරියේ දී ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව නොඅනුමාන ය. මන්දයත්, අපේ රට ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු යැයි ලෝකයට පැවසීමට පෙර අපේ ක්‍රීඩකයින්ට සහ අදාළ ක්‍රිකට් කාර්ය මණ්ඩලයට රට තුළ ඔවුන් ආරක්‍ෂිත බව හැඟීය යුතු නිසාවෙනි.
>>ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණු කඳවුරු තහනම්!
ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවෙකුට මෙම ප්‍රහාරය හරහා හානියක් සිදුව නැතත් ඒ හරහා ඔවුන්ගේ නෑදෑ හිත මිතුරන්ට බලපෑම් එල්ල වී ඇත. කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී තරුණ පිතිකරු හසිත බෝයගොඩ රැඳී සිට ඇත්තේ එම හෝටලයේ ය. විශ්වාස කරන අන්දමට ඔහුගේ දෙමාපියන්, සොහොයුරා සහ සොහොයුරිය බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර දින කිහිපයක් පුරාවට ප්‍රතිකාර ලබාගෙන ඇත. වාර්තා වන අන්දමට හසිත හට මෙම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.
මීගමුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ඒ මොහොතේ එහි පැවැත්වෙමින් තිබූ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වී තිබූ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ පවුලේ සාමාජිකයින් මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා ඇත. තවදුරටත් හිටපු ක්‍රීඩක ඉයන් ඩැනියල්ගේ බිරිඳගේ පියා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ එයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබාගෙන ඇත.
>“මට කවදාවත් ඒ දසුන අමතක නොවේවි” – දසුන් ශානක
සාන්ත අන්තෝනි ශ්‍රී ලංකාවේ ප්‍රියතම සාන්තුවරයා වන අතර එතුමාට කැප කළ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මන්නාරමේ මඩු පල්ලි දේවස්ථානය සමඟින් ශ්‍රී ලංකාවේ පූජනීයම දේවස්ථානය ලෙස සලකනු ලබයි. මෙම සාන්ත අන්තෝනි දේවස්ථානය 13 වැනි සියවසේ ඉතාලියේ ‘Padua’ හි විසූ කතෝලික පූජකවරයෙකුට කැප කළ ඇති අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිරන්තර වන්දනාවට පාත්‍ර වන ස්ථානයකි.
අඟහරුවාදා දිනයක සවස් යාමයක දී ඔබ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය පැය කිහිපයක් ගත කළහොත් එය වන්දනාමාන කිරීමට යන දේශපාලනඥයින්, නීතිවේදීන්, යුද විරුවන්, සංගීතවේදීන්, ව්‍යාපාරිකයින් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ චරිත රැසක් ඔබට දැක බලා ගැනීමට හැකි වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් කතෝලිකයින් පමණක් නොවීමයි. ඒ අනුව අනෙක් ආගම් අදහන පුද්ගලයින් ද ඊට අයත් වේ.
සනත් ජයසූරිය එවන් පුද්ගලයින් අතරින් කෙනෙකි. දූෂණ වංචා වලට එරෙහි පරීක්ෂණයකට සහයෝගය ලබා නොදීම වෙනුවෙන් මේ වන විට වසර 2ක තහනමකට ලක්ව සිටින ඔහු සෑම අඟහරුවාදා දිනයක දී ම මෙම දේවස්ථානය වන්දනාමාන කරයි. ඒ අතරට චමින්ද වාස් සහ අජන්ත මෙන්ඩිස් ද ඇතුළත් වන අතර ඇන්ජෙලෝ මැතිව්ස් ද නිතර මෙම දේවස්ථානය වන්දනාමාන කරන අයගෙන් කෙනෙකි.
විශේෂයෙන් අජන්ත මෙන්ඩිස් හට මෙම දේවස්ථානය සමඟ ඇත්තේ සුවිශේෂී බැඳීමකි. 2008 ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරණ බලඇණිය අඩපණ කරමින් ඔවුන්ව සුනුවිසුනු කර දැමූ අජන්ත මෙන්ඩිස් එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට සැමදා මතකයේ රැඳෙන ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සමත් විය. එහි දී ඔහුගේ පන්දු යැවීමේ දක්‍ෂතාවය වාර්තා වූයේ ලකුණු 13කට කඩුලු 6ක් ලෙසයි. අහම්බෙන් හෝ මෙම සාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය යෙදී ඇත්තේ ජුනි මස 13 වන දිනට යි. එනම් 6/13 දිනට යි.
කතෝලික පල්ලිය විසින් සාන්ත අන්තෝනි වෙත කැපකර ඇති දිනය අඟහරුවාදා දිනය යි. ප්‍රාතිහාර්යේ සාන්තුවරයා ලෙස හැඳින්වෙන එතුමා දුප්පත් සහ ලෙඩ රෝගවලින් පෙළෙන ජනතාව වෙත ලබා දුන් ආදරය සහ කරුණාවට නම් දරා සිටියි. මෙම දේවස්ථානයට ඇතුළු වන ස්ථානයේ ඇති ප්‍රතිමා වල එක් ප්‍රතිමාවක් නිමවා ඇත්තේ එතුමාගේ දිවේ කුඩා කොටසක් නිධන්ගත කරමිනි. බොහෝ දුරට එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් එම ප්‍රතිමාවට හානි සිදුවන්නට ඇත.
මෙම දේවස්ථානය වසර 200කටත් වඩා පැරණි වන අතර 2013 වසරේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් සතුව තිබූ බිම් කොටසක් ආහාර මධ්‍යස්ථානයක් (soup kitchen) ඉදිකිරීම සඳහා දේවස්ථානය වෙත ලබා දෙන ලදි. මේ හේතුවෙන් කොළඹ සිටින දුගී ජනතාව හට කිසිදු දිනයක් කුසගින්නෙන් ගතකිරීමට සිදුනොවන්නේ සෑම අවස්ථාවක දී ම ඔවුන් සඳහා එහි ආහාර පාන ඇති බැවිනි.
එමෙන්ම මෙම දේවස්ථානය බලගතු පුද්ගලයින්ගේ ආකර්ෂණයට ද ලක්ව ඇත. 1995 වසරේ දී ඒ වන විට පාප් ධූරය හෙබවූ පෝලන්ත ජාතික දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ දී ගාලු මුවදොර කරා යන අතරතුර පෙර සූදානම් කර නොතිබුනත් මෙම දේවස්ථානය වෙත යාමට තීරණය කරනු ලැබීය. ඒ පිළිබඳව අදහස් දක්වමින් පසුව එතුමා පවසා සිටියේ එතුමා ගමන්ගත් රිය පෙරහැර දේවස්ථානය පසුකරගෙන යන විට එතුමාට ඒ තුළට යාමට අවශ්‍ය බව සිතුණු බවයි. එතුමා පමණක් නොව, 107 බස් රථයේ ගමන් ගන්නා බොහෝ දෙනා හට බස් රථය ජම්පටා වීදිය වෙත හරවන විට දැනෙන්නේ ද එතුමාට දැනුණු ඒ හැංගීම මය.
රෙක්ස් ක්ලෙමන්ටයින් විසින් රචිත A shrine frequented by cricketing community ලිපියේ පරිවර්තනයකි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<