පුහුණුකරුවො ‘ටැම්පරිය’ අගෙයි ක්‍රිකට්‌ ජල්බරිය

170

ඇඳුම් මාරු කරන්නාක්‌ මෙන් පුහුණුකරුවන් මාරු කිරීමේ අලුත් ක්‍රමයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලින් හඳුන්වා දී තිබේ. එදා වේල සොයා ගන්නා කුලීකාරයන් ලෙසින්ම මාස කිහිපයකට හෝ දවස්‌ කිහිපයකට දෙස්‌ විදෙස්‌ පුහුණුකරුවන් ගෙන්වීම කොතරම් දුරට ප්‍රායෝගික කටයුත්තක්‌ද යන්න සිදත් වෙත්තමුණිගේ ක්‍රිකට්‌ අතුරු කමිටුව ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි. අප එසේ කියන්නේ කුලීකරුවාට වඩා කොන්ත්‍රාත්කරුවා වැඩේ වගකීමෙන් කරනා බැවිනි.

පුහුණුකරුවන්ට ගරු නොකිරීම, පුහුණුකරුවන් ආත්මාර්ථකාමී වීම සහ කෙටි කාලීන පුහුණුකරුවාට ඉදිරි දැක්‌මක්‌ නොමැතිවීමෙන් නන්නත්තාර වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවයි. මේ සියල්ල හරියට පෙළගැස්‌වීමට ක්‍රිකට්‌ ‘ලොක්‌කන්’ කටයුතු කළ යුතුය.

කෙටිකාලීන පුහුණුකරුවන් ගෙන්වීමේ හොඳ නරක දෙයාකාරයකින් ගණනය කළ හැකි වුවද අනාගත ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉලක්‌ක කරගෙන කෙටිකාලීන පුහුණුකරුවන් ගෙන්වීම ගඟට ඉනි කපන්නාක්‌ බඳු කටයුත්තකි. මෙය වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුව විසින් පමණක්‌ ඇතිකළ දොaෂයක්‌ නොවූවද කෙටිකාලීන පුහුණුකරුවන් ගෙන්වීම දැන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට ‘පැෂන්’ එකක්‌ වී තිබේ. එබැවින් එම දොaෂය මග හරවා ගැනීම වත්මන් පරිපාලනයේ යුතුකමක්‌ ලෙස අප සටහන් කරමු.

ඉකුත් ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් සති කිහිපයකට පුහුණුකරුවන් කිහිප දෙනෙක්‌ද ‘ටැම්පරි’ ක්‍රමයට ගෙන ආවේය. ටේ්‍රවර් පෙනී සහ රොමේෂ් රත්නායක ‘ටැම්පරි ක්‍රමයට’ රාජකාරිය කළේය. ඊට පෙර මානසික විශේෂඥයකුද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනස හැදීමට ගෙන ආවේය. එය හොඳ ක්‍රියාවකි. එහෙත් කණ්‌ඩායමක්‌ ලෙස මානසිකත්වය හැදීමට ජෙරම් ස්‌නැප් ට හැකිවූවේද යන්න සැකසහිතය. ඒ සඳහා හේතු කිහිපයක්‌ තිබේ. පුහුණුකරුවන් අතර මනා සහයෝගයක්‌ නොතිබුණි. ක්‍රීඩකයන් විසින් පුහුණුකරුවන් තෝරන ක්‍රමයක්‌ තිබුණි. ඒ අනූව ‘බල්ලගෙ වැඩේ බූරුවා’ කිරීම වැනි ක්‍රියා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තිබුණා යෑයි යමෙකු පැවැසුවද එහි සාධාරණත්වයක්‌ තිබේ. ‘වාස්‌ සහ මා අතර ප්‍රශ්නයක්‌ තිබුණත් එය කතා කිරීමට අවස්‌ථාවක්‌ නොවෙයි.’ යනුවෙන් එක්‌ පුහුණුකරුවකු තරගාවලිය අවසානයේදී පැවැසීය. ‘මෙතන වෙනදේවල් ගොඩක්‌ තියෙනවා. ඒව ලෝක කුසලාන තරගාවලිය යන අතරතුරේදී කියන්න බැහැ. හැබැයි මම මුලින්ම කිව්ව අපේ වේග පන්දු යවන්නන්ව හදා ගන්න පුහුණුකරුවන් ලෙස එකට වැඩ කළ යුතුයි කියලා. මම එකක්‌ කියනවා. අනික්‌ පුහුණුකරුවා තව එකක්‌ කියනවා. එතනදී ක්‍රීඩකයන් අනාථ වෙනවා.” යනුවෙන් චමින්ද වාස්‌ පුහුණුකරු ලෙස කටයුතු කරන සමයේදී පැවැසීය. 

චමින්ද වාස්‌ වසර දෙකකට ආසන්න කාලයක්‌ වේග පන්දු පුහුණුරුවකු ලෙස කටයුතු කර තිබියදී ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් රොමේෂ් රත්නායක පත්කෙරිණි. වාස්‌ට වසර දෙකක්‌ තිස්‌සේ කළ නොහැකි වූ දෙයක්‌ රොමේෂ් රත්නායකට මාසයකින් කළ හැකිද? එහිදී අසරණ වූයේ වේග පන්දු යවන්නන්ය. රුවන් කල්පගේට සහ උපුල් චන්දනට වසර කිහිපයක්‌ පුරා කිරීමට නොහැකි වූ දේ පන්දු රැකීමේ පුහුණුකරු ටේ්‍රවර් පෙනීට කළ හැකිද? මෙයට පිළිතුර ‘බැහැ’ යන්නය. උසස්‌ පෙළ විභාගයට සහභාගි වෙමින් සිටියදී සම්මන්ත්‍රණවලට සහභාගි වූ පමණින් සිසුන්ට විභාගය සමත් විය නොහැකි සේම කෙටිකාලීන පුහුණුකරුවන්ව ගෙන්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉහළ දක්‌ෂතාවක්‌ පෙන්විය නොහැකි බව බලධාරීන් සිහි තබා ගත යුතුය.

දැන් චමින්ද වාස්‌ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් සමුගෙන තිබේ. ඒ වෙනුවට චම්පක රාමනායකව ආදේශ කර ඇත. ඔහුගේ වගකීම ඉදිරි තරගාවලි තුනකට පමණි. එසේනම් මාස හයකට පමණි. පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජොන්ටි රෝඩ්ස්‌ව දවස්‌ 10කට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුව පියවර ගෙන තිබේ. ජොන්ටි රෝඩ්ස්‌ දවස්‌ 10න් කුමක්‌ කළේද යන්න ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මෙසේ අප ඉගියක්‌ ඉදිරිපත් කරමු. ඒ ජොන්ටි කරන්නේද පසුගියදා ටේ්‍රවර් පෙනී කළ කාර්තව්‍යම බවයි. ජොන්ටි රෝඩ්ස්‌ට රුපියල් මිලියන ගණන් ගෙවනවාට වඩා ඔහු ක්‍රීඩා කරන කාලයේ පන්දු රැකි ආකාරයේ වීඩියෝ පෙන්වීම ඊට වඩා ඵලදායක වනු ඇතැයි අප සිතමු. ඒ අදටත් ජොන්ටි රෝඩ්ස්‌ පන්දු රැකි ආකාරයට ක්‍රීඩකයන් පන්දු රැකීමට උත්සහ කරන බැවිනි. 

දින කිහිපයකට හෝ සති කිහිපයකට පැමිණ රුපියල් මිලියන ගණන් ‘පොකැට්‌ටුවේ’ ඔබාගෙන පුහුණුකරුවන්aa හීං සීරුවේ මාරුවෙද්දි ක්‍රීඩකයෝ පරණ තාලෙටම ගමන යති. එහිදී ජයග්‍රාහී රේඛාව පහළ බසිද්දී පරාජිතය දැක්‌වෙන රේඛාව ශීග්‍රයෙන් ඉහළ නැගීම නිරායාසයෙන්ම සිදුවේ. ණය බරින් ගිලා බැස තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට තියෙන තුට්‌ටු දෙකත් නැතිවී යයි.

පුහුණුකරුවා යනු ගුරුවරයෙකි. එම ගුරුවරයාට කීකරු නොවන ගෝලයන් සියල්ල කඩාකප්පල් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් අතරද එවැනි බහින් බස්‌වීම් නොතිබුණා යෑයි අපට කිව නොහැක. ශ්‍රී ලංකාව දිනූ 1996 ලෝක කුසලාන කණ්‌ඩායමේ ප්‍රධාන චරිතයක්‌ වන අසංක ගුරුසිංහ පුහුණුකරුවන් පිළිබඳව අපූරු අදහස්‌ මීට පෙර ‘දිවයින’ ට පැවැසීය. ”මට තේරෙන්නෙ නැහැ මේ තරම් පුහුණුකරුවන් ඉන්නෙ ඇයි කියලා. අනික මාසයකට හෝ සති කිහිපයකට පුහුණුකරුවන් ගෙනල්ල කරන්න පුළුවන් දෙයක්‌ නැහැ. අනික ක්‍රීඩකයන්ට තියෙන්නෙ ක්‍රීඩා කරන්න. ඒ අය පුහුණුකරුවන් තෝරන වැඩේ කළොත් ඔක්‌කොම අවුල් වෙනවා.” යනුවෙන් ගුරුසිංහ පවසා සිටියේ ඔහුගේ අත්දැකීමෙනි.

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනද්දී කණ්‌ඩායමට ශක්‌තියක්‌ වූයේ පුහුණුකරු ඩේව් වට්‌මෝර්ය. වට්‌මෝර් වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා අර්ජුන රණතුංග සමග එකතුවී කණ්‌ඩායම මුවහත් කළේය. ඊට පෙර ඩේව් වට්‌මෝර්ට ප්‍රශ්නයක්‌ පැන නැගුණි. ඒ අර්ජුන සහ අරවින්ද නියමිත වේලාවට පුහුණුවීම්වලට වාර්තා නොකිරීමයි. ඒ පිළිබඳව වට්‌මෝර් එවකට ක්‍රිකට්‌ සභාපති ආනා පුංචිහේවාව දැනුවත් කර තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ වට්‌මෝර්ට කැමැති දෙයක්‌ කරන්න යනුවෙනි. එවිට වට්‌මෝර් ප්‍රමාද වී පැමිණීම වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඒ ජ්‍යෙෂ්ඨ යුගලව වට කිහිපයක්‌ දුවවා තිබේ. පුහුණුකරුවා එවැනි ගාම්භීර චරිතයක්‌ විය යුතුය. ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම කනිෂ්ඨයන්ටද එකම හැන්දෙන් බෙදන විට වැරදි අඩුවීම නිරායාසයෙන්ම සිදුවේ. එබැවින් ඉදිරියේදී ඉලක්‌කයක්‌ ඇති පුහුණුකරුවන්ට වගකීමක්‌ සහිත සැලකිය යුතු කොන්ත්‍රාත් කාලයක්‌ ලබා දෙනු ඇතැයි අපි සිතමු. එසේ කිරීමට නොහැකි නම් අප තරගයකට සහභාගි වන විට ප්‍රතිවාදී පුහුණුකරුවා කරන දේ කොපි කර තරගයට ලැහැස්‌ති වීම ඊට වඩා ප්‍රායෝගික වනු ඇත. එවිට ක්‍රිකට්‌ ආයතනයට ඉතුරුවන මුදල්වලින් හද්දා පිටිසර ක්‍රිකට්‌ ක්‍රීඩාවටද යමක්‌ කළ හැකිය.