පළමු පදක්කම කුමාරසිරිගෙන් – පළමු වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය

141

පසුගිය සිකුරාදා (8දා) සිට කටාර් හි පැවැත්වෙන පළමුවැනි ආසියානු යෞවන මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ චමල් කුමාරසිරි පළමු පදක්කම ලක්මවට තිළිණ කරන්නට සමත් වී තිබිණි.

මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල නියෝජනය කරන කුමාරසිරි තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීම සඳහා මීටර් 15.39ක දුරක් වාර්තා කළ අතර එය ඔහුගේ උපරිම දක්‍ෂතාව වූ මීටර් 15.18 ඉක්මවා යෑමක්ද විය.

මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන සෙසු තරගකරුවෝ 6 දෙනාම තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ සවස් භාගයේ අවසන් තරග සඳහා සහභාගිවීමේ සූදානමින් පසු වූහ.

ඒ අතරින් ශ්‍රී ලංකාවේ විශාලම බලාපොරොත්තුව බවට පත්ව සිටින කණ්ඩායමේ එකම ක්‍රීඩිකාව වන අඹගමුව මධ්‍ය මහා විදුහලේ යමුනි දුලාංජලී බාලිකා මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් ඉසව්වට සුදුසුකම් ලබා ඇත්තේ අවසන් පූර්ව වටයේදී හොඳම තරග නිමි කාලය සටහන් කරමින් වීම විශේෂත්වයකි.

ඇය සහභාගි වූ පළමු අවසන් පූර්ව තරගය වි. 1 තත් 03.31 කදී නිම කොට ජයගෙන තිබූ අතර අවසන් තරගයට සහභාගි වන ක්‍රීඩිකාවන් අතර දෙවැනි හොඳම තරග නිමි කාලය වාර්තා කර ඇත්තේ චීන ක්‍රීඩිකා කුයි ෂැන්ග්යාන් විසිනි.

මේ අතර බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ උදිත් චන්ද්‍රසේන මෙන්ම දර්ශන රාජපක්‍ෂ ද ඊයේ සවස් භාගයේ පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.

මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත් චන්ද්‍රසේන තත්පර 54.36ක් ලෙස වාර්තා කර ඇති තරග නිමි කාලයට හිමිව ඇත්තේ අවසන් තරගයට සහභාගි වන තරගකරුවන් අතර තෙවැනි ස්ථානය වන අතර එම ඉසව්වේ හොඳම තරග නිමි කාලය බවට පත්ව ඇති තත්පර 52.83 සටහන් කර ඇත්තේ තායිලන්තයේ විතාවන් තුම්චා විසිනි.

එහි පස්වැනි හොඳම තරග නිමි කාලය තත්පර 55.26ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ දර්ශන රාජපක්‍ෂ සටහන් කර ඇත.

ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ ඊයේ සවස් භාගය ශ්‍රී ලංකාවට වාසනාවන්ත සනධ්‍යාවක් වීමේ පෙරනිමිති පළකර තිබුණේ මෙම තරගාවලියට සහභාගි වන ආසිරි විජේසේකර (මීටර් 200) ධම්මික රණතුංග හා උෂාන් තිවංක

(උස පැනීම) යන ක්‍රීඩකයන්ද අවසන් තරග සඳහා සුදුසුකම් ලබා සිටි බැවිනි.