තරිඳුගේ දඟ පන්දුව පාකිස්තානයේ හරහට – ශ්‍රී ලංකා “ඒ” පාකිස්තානු “ඒ” ක්‍රිකට් තරගාවලිය

143

සංචාරක පාකිස්තානු “ඒ” කණ්ඩායම හා ශ්‍රී ලංකා “ඒ” අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය තරගය නතර කරන විට පාකිස්තානුවන් පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 401ට පිළිතුරු සපයන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කට ලකුණු 95ක් ලබා සිටියේය.

එහිදී කිතුරුවන් විතානගේ ලකුණු 35ක් හා අශාන් ප්‍රියන්ජන් ලකුණු 12ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම සොයාගැනීම බවට පත්ව සිටින තරිඳු කෞෂාල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 117කට කඩුලු 6ක් බිඳ දැමුවේ පාකිස්තානු ඉනිමේ එකම විනාශකාරයා බවට පත්වෙමිනි.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ පෙරේදා ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැඳී සිටි ෆාවඩ් අලාම් ඊයේ ලකුණු 72ක් ලබා ගනිද්දී උමාර් අමීන් ලකුණු 99ක් හා කුරාම් මන්සූර් ලකුණු 82ක්ද කණ්ඩායම වෙනුවෙන් එක් කළේය.

පාකිස්තානු ලකුණු පුවරුව එක් අවස්ථාවක කඩුලු 6කට ලකුණු 280ක්ව තිබුණද ෆාවඩ් අලාම් 7වැනි කඩුල්ල වෙනුවෙන් ශෂාඩ් අසාම් සමගින් ලකුණු 67ක සබඳතාවක් එක්කරමින් පාකිස්තානු ඉනිම ඔසවා තැබීමට දායකත්වය සැපයීය.

අලාම්ගේ දැවී යෑමෙන් අනතුරුව තවදුරටත් පාකිස්තාන ඉනිමේ වගකීම කරට ගත් අසාම් නොදැවී ලකුණු 47ක් එක්කරද්දී තරිඳු කෞෂාල් ලකුණු 117කට කඩුලු 6ක් බිඳ දැමීය.

 

ලකුණු සාරාංශය

පාකිස්තාන “ඒ” පළමු ඉනිම _ 401

(උමාර් අමීන් 99, කුරාම් මන්සූර් 82,

ෆාවඩ් අලාම් 72, ශෂාඩ් අසාම් නොදැවී 47,

තරිඳු කෞෂාල් 6/117, ධනංජය ද සිල්වා 2/42)

ශ්‍රී ලංකා “ඒ”පළමු ඉනිම 95/3

( කිතුරුවන් විතානගේ 35, උදාර ජයසුන්දර 31)