ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 2 වැනි දිනය අවසන් වන විට ගාලු ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 370ට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 210ක් ලබා සිටි අතර අද ඔවුන් එම ඉනිම ලකුණු 370ක් දක්වා රැගෙන ගියා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 216ක් පිටුපසිනුයි සිටින්නේ.
ගාලු ඉනිමේ පෙර දිනයේ දී නොදැවී ලකුණු 27ක් ලබා සිටි දුනිත් වෙල්ලාලගේ අද දවසේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පෙර දින ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඔෂද ප්‍රනාන්දු නැවත පිටියට පිවිසියා. ඔහු පිටියට පිවිසියේ ලකුණු 52ක් ද අතැතිවයි. එතැන් සිට පෙර දින නොදැවී ලකුණු 3ක් ලබා සිටි නායක රමේෂ් මෙන්ඩිස් හා එක් වෙන ඔහු 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85ක දී ලකුණු 65ක සබඳතාවක් එක් කරනවා.
රමේෂ් මෙන්ඩිස් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
අනතුරු ව පිටියට එක් වූ සංතුශ් ගුණතිලක සහ ඔෂද ප්‍රනාන්දු අතර 8 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 49ක් එක් වීමත් සමඟින් ඔෂද ප්‍රනාන්දු ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 120ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 25 වැනි ශතකයයි.
සංතුශ් ගුණතිලක ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 92කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අකිල ධනංජය කඩුලු ද්විත්වයක් ද, ඉනුක කරන්නාගොඩ, චමිඳු විජේසිංහ සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ගාල්ල 210/5
- රන් මුසු නීල කුසලානය ජෝසප් වාස් විද්‍යාලයට
- ගාලු – දඹුලු NSL අරගලය
- තුන් කොන් ක්‍රිකට් ගැටුමට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
- 2025 වසර සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත. ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.
ඔහු සම්මු අශාන් හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 85ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. සම්මු අශාන් ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
දිනය අවසන් වන විට විශාද් රන්දික ලකුණු 18ක් ලබා ගනිමින් ද සහ චමිඳු විජේසිංහ ලකුණු නොලබා ද නොදැවී පිටියේ රැඳී සිටියා.
පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන නිම්සර අතරගල්ල ලකුණු 50කට කඩුලු 4ක් ද සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ලක් ද දවා ගෙන සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 370 (96.2)ඔෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, සංතුශ් ගුණතිලක 39, මොහොමඩ් ශිරාස් 4/92, අකිල ධනංජය 2/92
- දඹුල්ල – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 154 (41.0)රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අශාන් 35, විශාද් රන්දික නොදැවී 18, නිම්සර අතරගල්ල 4/50
මෙම තරගය හෙට (29) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.